හේමාස් රෝහල් සමූහය මෙරට පළමු කෝවිඞ් 19න් ආරක්ෂිත රෝහල් සමූහය ලෙසින් සහතික ලබයි

April, 29, 2021

ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය කෝවිඞ් 19 න් ආරක්ෂිත ශ‍්‍රී ලංකාවේ පළමු රෝහල ලෙස ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ ප‍්‍රමිතිකරණ සහතිකයෙන් පිදුම් ලැබීය.

කෝවිඞ් 19 න් ආරක්ෂිත ව්‍යාපාර, භාණ්ඩ හා සේවා පවත්වාගෙන යනු ලබන ආයතන සහ කර්මාන්තයන් ප‍්‍රමිතිකරණයකට ලක් කිරීම සඳහා ශ‍්‍රී ලංකා ප‍්‍රමිතිකරණ ආයතනය විසින් ස්ථාපනය කර ඇති සහතිකකරණ වැඩපිලිවෙළ දැඩි පිරිසික්සුම් ක‍්‍රියාවලියක් යටතේ අවශ්‍යතා රැසක් අඛණ්ඩව සපුරාලීම සහ කෝවිඞ් 19 ආරක්ෂිත කළමනාකරණ ක‍්‍රමවේදයන් තිරසාරව පවත්වාගෙන යෑම වෙනුවෙන් SLS 1672: 2020ප‍්‍රමිතිකරණය හේමාස් රෝහල් සමූහයට පිරිනැමිණ.

‘‘හෙමාස් රෝහල් සමූහය විසින් හිමිකර ගන්නා ලද මෙම ප‍්‍රමිතිකරණය පිළිබඳව අපගේ සුභාශිංෂණ පිරිනමන අතර ඒ සඳහා ඔවුන් සියලූ අවශ්‍යතා ඉතා ඉහළින් සපුරා තිබෙනවා. රෝගීන් ගේ ආරක්ෂාව සහ කළමනාකරණය පිළිබඳව ගෝලීය යහ පිළිවෙත් දැඩිව අනුගමන කරන රෝහල් සමූහයක් ලෙස ඔවුනගේ සායනික මෙහෙයුම් සහ ක‍්‍රියාවලීන් දැඩි තත්ව පාලනයකට සහ එම තත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා රෝහල් කාර්යමණ්ඩලය විසින් ගෙන ඇති ක‍්‍රියාමාර්ග අපගේ ඇගයීමට ලක් වුණා. මෙම වසංගත කාලවකවානුව තුළ කිසිදු බියකින් සැකයකින් තොරව ජාත්‍යන්තර මට්ටමේ රෝහල් සේවාවක් වෙත ප‍්‍රවේශ වීමට රෝගීන්ට අවකාශ සලසා දීම සහ ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීම අතිශය වැදගත් කරුණක් ලෙස අපි විශ්වාස කරනවා. එසේ නොමැති නම් මෙවැනි කාලවකවානුවක රෝහල් වෙත යෑම ප‍්‍රමාද කිරීම තුළ රෝගීන්ගේ ජීවිතවලට යම් අහිතකර තත්වයකට මුහුණදෙන්නට ද සිදුවෙනවා. මෙබඳු වසංගත තත්වයකදී සිය ජාතික වගකීම නිසි ලෙස හඳුනා ගනිමින් රෝගීන්ගේත්, සිය කාර්ය මණ්ඩලයේ සහ පොදුවේ ප‍්‍රජා ආරක්ෂාව ද සහතික කිරීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් පවත්වාගෙන යෑම සඳහා අමතරව විශාල මූල්‍ය ආයෝජනයක් සිදු කරමින් නව කළමනාකරණ පිළිවෙත් හඳුන්වාදීමට කටයුතු සිදු කර ඇති අතර මෙමගින් වඩාත් ආරක්ෂිත පරිසයක් තුළ කාර්යක්ෂම අයුරින් ප‍්‍රතිකාර සේවා පවත්වාගෙන යෑමට හේමාස් රෝහල් සමූහය සමත් වී ඇති බවට තහවුරු වී තිබෙනවා’’ යනුවෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රමිතිකරණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය පැවසුවාය.

කොවිඞ් 19 න් ආරක්ෂිත බවට සහතික හිමි කර ගත් පළමු රෝහල් සමූහය ලෙසට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කෝවිඞ් 19න් ආරක්ෂා වීම සඳහා හඳුන්වාදුන් මාර්ගෝපදේශයන් සහ නියෝගයන් පසුගිය වසර පුරාවටම දැඩිව ක‍්‍රියාත්මක කිරීමට හේමාස් රෝහල් සමූහය පියවර ගන්නා ලදි. සාමාන්‍ය කටයුතු වලදී මෙන්ම රෝගීන් සමග කටයුතු කරන අවස්ථාවලදී හේමාස් රෝහල් කාර්ය මණ්ඩලය නිසි ප‍්‍රමිතියෙන් යුතු පුද්ගල ආරක්ෂිත උපාංග පැළඳ සිටීම විශබීජ පැතිරීම පාලනය කිරීම සඳහා දැඩි සෞඛ්‍යාරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කිරීම, සාමාන්‍ය විශබීජ හරණයට අමතරව රෝහල් පරිශ‍්‍රය දැඩි විශබීජ හරණයකට ලක් කිරීම සඳහා දිනකට කිහිප වරක් රෝහලේ සියලූ ස්ථාන පිරිසිදු කිරීම සහ කෝවිඞ් 19 රෝග පාලන මාර්ගෝපදේශයන් පිලිපැදීම සඳහා කාර්ය මණ්ඩලය උනන්දු කිරීම සහ නිරන්තර පුහුණව මීට අයත්වේ.

ලොව පළමු වරට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් හඳුන්වාදුන් මෙම කෝවිඞ් 19 න් ආරක්ෂිත ප‍්‍රමිතිකරණය තුළින් ශ‍්‍රී ලංකාවේ ආයතන, භාණ්ඩ හා සේවා සෞඛ්‍ය නියාමනයන්ට අනුගත කිරීම සහ එම මාර්ගෝපදේශයන් පිළිපැදීමට දිරිගැන්වීම සහ ඇගයීම මෙම ප‍්‍රමිතිකරණ වැඩපිළිවෙළ යටතේ අපේක්ෂා කෙරේ. නුදුරේදීම ජාත්‍යන්තර සුවසේවා ක්ෂේත‍්‍රය සඳහා ද මෙම ප‍්‍රමිති සහතිකරණය හඳුන්වාදීමට ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය කටයුතු කරනු ඇත.

‘‘ තෙවන පාර්ෂවයක් මගින් කෝවිඞ් 19 වසංගතයේ ව්‍යාප්තිය පාලනය උදෙසා හේමාස් රෝහල් සමූහය විසින් සිය රෝගීන් , කාර්ය මණ්ඩලය සහ ප‍්‍රජාවේ ආරක්ෂාව සඳහා අනුගමනය කළ දැඩි සෞඛ්‍ය පිළිවෙත් ඇගයීමට ලක් වූ පළමු අවස්ථාව ලෙස කෝවිඞ් 19 න් ආරක්ෂිත ප‍්‍රමිතිකරණය සහතිකය පෙන්වා දිය හැකියි. දැඩි ගෝලීය වසංගත රෝග තත්වයක් තුළදී ලෝකයේ  ඕනෑම රෝහලක් මෙබඳු සෞඛ්‍යාරක්ෂිත නියමයන් සහ මාර්ගෝපදේශයන් ක‍්‍රියාත්මක කිරීම තුළ රෝගීන්ගේ සහ සේවකයින්ගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමටද හැකිවෙනවා. ’’ යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

කෝවිඞ් 19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වාදුන් නියාමනයන් සහ මාර්ගෝපදේශයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක‍්‍රියාමාර්ගයන් දැඩි ඇගයුම් ක‍්‍රියාවලියක් සහ අදියර කිහිපයකින් පැවති ස්වාධීන විගණනයකින් අනතුරුව කෝවිඞ් 19 න් ආරක්ෂිත ප‍්‍රමිතිකරණය සහතිකය හේමාස් රෝහල් සමූහය වෙත පිරිනැමීය. මෙම සහතිකය මගින් රෝහලේ මෙහෙයුම් ක‍්‍රියාවලිය සහ විශබීජ පාලනය ඇතුළු රාශියක් ඇගයීමට ලක් කරන ලදි.

සේයාරූ සටහන - කෝවිඞ් 19 න් ආරක්ෂිත ප‍්‍රමිතිකරණය සහතිකය ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය විසින් හෙමාස් රෝහලේ කළමනාකාර අධ්‍යක්ෂ සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා වෙත පිරිනැමීම.