• Ada Derana BIZ Sinhala
  • Chamber of Marine Industries
  • sri lanka

ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත වාණිජ මණ්ඩලය සිය සමාරම්භක රැස්වීම පවත්වයි

October, 14, 2022

ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සමාරම්භක රැස්වීම පසුගියදා (ඔක්තෝබර් 11) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ප්‍රමුඛ බෝට්ටු හා නැව් නිෂ්පාදන, නාවික සංචාරක, සමුද්‍රීය සහ අක්වෙරළ කර්මාන්ත සහ අදාළ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන්  අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත අංශය අන්තර්ජාතික වෙළෙඳපොළට විවිධ නිෂ්පාදන සහ සේවා ලබා දෙන ඉහළ විභවයන් සහිත නැගී එන අපනයන අංශයකි. 2018-2022 ජාතික අපනයන උපායමාර්ගික සැලැස්ම (NES) මගින් මෙම අංශය කේන්ද්‍රීය අංශයක් ලෙස හඳුනාගෙන ඇති අතර සමුද්‍රීය කර්මාන්තය සඳහා කැප වූ ශක්තිමත් කර්මාන්ත වාණිජ මණ්ඩලයක් පිහිටුවීම කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා ජාතික අපනයන උපායමාර්ගික සැලැස්මේ (NES) එක් ක්‍රියාකාරකමකි.

එබැවින් සියලුම පාර්ශ්වකරුවන් සාමූහිකව ක්‍රියාකිරීමෙන් ලබා ගත හැකි ප්‍රතිලාභ සැලකිල්ලට ගනිමින් අපනයන සංවර්ධන මණ්ඩලය සහ බෝට්ටු නිෂ්පාදන තාක්ෂණය වැඩිදියුණු කිරීමේ ආයතනය (BTI) එම අංශය සඳහා වන වාණිජ මණ්ඩලයක් පිහිටුවීමට අදාළ කටයුතු ආරම්භ කරන ලදී. ඒ අනුව, 2020 වර්ෂාවසානයේ පැවති පළමු පාර්ශ්වකරුවන්ගේ රැස්වීමේ දී පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස “ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්ත වාණිජ මණ්ඩලය” පිහිටුවන ලදී.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ, අභිනව වාණිජ මණ්ඩලයට සමස්ත කර්මාන්තය වෙනුවෙන් ක්‍රියා කළ හැකි අතර, ඕනෑම සංසදයක සමුද්‍රීය කර්මාන්තයේ ඉහළම ආයතනය ලෙස සියලුම පාර්ශ්වකරුවන් නියෝජනය කිරීමටත්, කර්මාන්තය නංවාලීම සඳහා උපායමාර්ගික සහ ප්‍රවර්ධන සැලසුම් සකස් කිරීමටත් හැකි බවයි.

සමුද්‍රීය කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉන්ද්‍ර කෞෂාල් රාජපක්ෂ මහතා පත් කෙරුණු අතර, ලේකම්වරයා ලෙස ඉසුරු ගුණතිලක මහතා ද, භාණ්ඩාගාරික ලෙස අංජලිකා පෙරේරා මහත්මිය ද තේරී පත් විය. නැව් නිෂ්පාදනය සහ අලුත්වැඩියා කිරීම (Ship Building & Ship repairing), යාත්‍රා මෙහෙයුම් සහ සේවා සැපයීම (Vessel Operations & service providers), සැපයුම් සේවා (Logistic), නාවික සහ සමුද්‍රීය සේවා (Shipping & Marine Services), අක්වෙරළ සේවා (Offshore Services), සහතික කිරීම් (Certifications), රසායනික සැපයුම් (chemical Suppliers),  නාවික සැපයුම් සහ ප්‍රධාන කිමිදුම්කරුවන් (Supply of Seafarers and Master Divers) යනාදී අංශවලින් අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් තෝරා පත්කෙරිණි.

ශ්‍රී ලංකා සමුද්‍රීය කර්මාන්තයට අදාළ සියලුම පාර්ශ්වකරුවන් නියෝජනය කරමින් එකම ආයතනයක් ලෙස නැගී සිටීමට හැකිවන බවත්, එමගින් කර්මාන්තය යටතේ ඇති සියලුම ක්ෂේත්‍රවල දියුණුව සඳහා සාමූහික ප්‍රයත්නයක් දැරිය හැකි බැවින් රටට අත්‍යවශ්‍ය නීල ආර්ථිකයක් ඇති කර ගැනීම සඳහා එය කාලෝචිත වන බව ද සහභාගී වූවන්ගේ අදහස විය.