Galaxy Note 7 දුරකතනයක් පුපුරා යයි

    September, 7, 2016

    නොබෝදා හඳුන්වා දෙන ලද Samsung Galaxy Note 7 වර්ගයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් පුපුරා යාමට ලක්වූ අවස්ථාවක් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරින් වාර්තා වෙයි. පර්ත් හි හෝටල් කාමරයක් තුළ සිදුවූ මෙම පිපිරීම හේතුවෙන් එම හෝටල් කාමරයට ඕස්ට්‍රේලියානු ඩොලර් 1,800 ක පමණ අලාභයක් සිදුව ඇති බව මෙහිදී වැඩිදුරටත් වාර්තා වී තිබේ.

    මෙල්බර්න් සිට පර්ත් දක්වා ව්‍යාපාරික කටයුත්තක් සඳහා පැමිණි පුද්ගලයෙකුගේ අලුත්ම Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතනයක් මෙලෙස පුපුරා ගොස් ඇත. එම පුද්ගලයා තම දුරකතනය ආරෝපණය කිරීම සඳහා විදුලියට සම්බන්ධ කර නින්දට ගොස් සිටි අවස්ථාවක මෙම සිදුවීම වී තිබේ.

    Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වූ පළමු සිදුවීම මෙයයි.

    මෙම සිදුවීමෙන් වූ අලාභය අය කර ගැනීම සඳහා Tham Hua නම් මෙම පුද්ගලයා හට ඩොලර් 1,800 ක අලාභ පියවා ගැනීමේ බිල්පතක්, හෝටලයේ කළමනාකාරීත්වය විසින් ලබා දී එය අයකර ගැනීමට පියවර ගත් බව ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසීය.

    ලොව පුරා මේ දක්වා අලෙවි කර ඇති Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතන 50,000 කට අධික ප්‍රමාණයක් යළි කැඳවීමට සැම්සුන්ග් සමාගම පසුගිය සිකුරාදා පියවර ගනු ලැබීය. මෙම ස්මාර්ට් ජංගම දුරකතනය ආරෝපණයේ දී එය පුපුරා යාමට ලක් වූ අවස්ථා 35 කට වැඩි ප්‍රමාණයක් ලොව පුරා වාර්තා වී තිබෙන බව සමාගම විසින් පසුගිය දා අනාවරණය කරන ලදී.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ මෙලෙස පුපුරා යාමට ලක් වූ Samsung Galaxy Note 7 ස්මාර්ට් ජංගම දුරකතනයයි.