ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ දොර විවර වෙයි

    October, 6, 2021

    ඩිජිටල් ව්‍යාපාරික පරිසර පද්ධතියක් ඇති කිරීම පහසු කිරීම පිණිස ඩිජිටල් බැංකුකරණය, බ්ලොක්චේන් තාක්ෂණය සහ ක්‍රිප්ටොකරන්සි මයිනින් සහ අවශ්‍ය අනෙකුත් සේවාවන් සැපයීම යන ක්ෂේත්‍ර ඇතුළත්ව ඒකාබද්ධ පද්ධතියක් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇත.
    දකුණු ආසියාවේ බොහෝ රටවල් එම ක්ෂේත්‍රයන් ඇගයීම හා සංවර්ධනය කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර එම රටවල් සමඟ තරගකාරී පදනමින් කටයුතු කිරීමට හැකි වන පරිදි අවශ්‍ය පියවර ගැනීම කෙරෙහි කඩිනමින් අවධානය යොමු කළ යුතුව තිබේ.
    ඒ අනුව, එකී ක්ෂේත්‍රයන්හි කටයුතු කරන සමාගම් වෙත ආයෝජනයන් ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය අණපනත්, නීතිරීති හා රෙගුලාසි පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත අවශ්‍ය කරුණු වාර්තා කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි නිපුණ වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කිරීමටත්, 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනත සහ ඊට අදාළ සංශෝධනයන්හි විධිවිධානයන්ට යටත්ව, ක්‍රිප්ටොකරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා අනුමැතිය ලබා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමටත් සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.