ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය පහසුමේ හය වැනි සමාලෝචනය පිළිබඳ නිලධාරී මට්ටමේ එකඟතාවකට එළඹෙයි

    September, 25, 2019

    සිව් අවුරුදු විස්තීර්ණ ණය පහසුකම් සැලසුම යටතේ ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ හය වැනි සමාලෝචනය පැවැත්වීම සඳහා මැනුඑලා ගොරෙති (Manuela Goretti) මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායමක් 2019 සැප්තැම්බර් 10 - 25 කාලය තුළ දී කොළඹට පැමිණි අතර සිය සංචාරය අවසානයේ ගොරෙති මහත්මිය විසින් පහත ප්‍රකාශය සිදු කරන ලදී:

    “විස්තීර්ණ ණය පහසුකම යටතේ ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ හය වැනි සමාලෝචනය පිළිබඳ ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරී කණ්ඩායම සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර අවබෝධතාවන්ට එළඹිණි. මෙම සමාලෝචනය සඳහා සපුරාලිය යුතු සියලු ම කාර්යයන් සහ ව්‍යුහාත්මක මිණුම් දඬු නිම කිරීමට අවශ්‍ය පියවර ඊළඟ සති කිහිපය තුළ දී බලධාරීන් විසින් ගනු ඇත.

    “අප්‍රේල් මාසයේ දී සිදු වූ ඛේදනීය ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ව රටේ ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට සහ ඉන් ආර්ථිකයට ඇති වූ කම්පනයේ බලපෑම අවම කිරීමට බලධාරීන් විසින් ගනු ලැබූ උත්සාහයන් දූත පිරිසේ පැසසුමට ලක් වේ. 2019 වසර සඳහා වූ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 2.7ක් ලෙස සංශෝධනය කර ඇති අතර සංචාරක පැමිණීම් සහ ඒ ආශ්‍රිත ආර්ථික කටයුතු ක්‍රමානුකූ ලව යථා තත්ත්වයට පත්වීම සමඟ 2020 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.5ක් දක්වා ඉහළ යනු ඇතැ යි පුරෝකථනය කෙරේ. 2019 - 20 කාල පරිච්ඡේදය තුළ දී උද්ධමනය සියයට 4.5ක් පමණ ස්ථායී මට්ටමක පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරේ. මෑත කාලීන ව සංචාරක පැමිණීම් සහ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ අඩු වුව ද, 2018 වසර අවසානයේ සිදු වූ විනිමය අනුපාතිකයේ ගැලපීම ආධාරයෙන් ආනයන පහළ යාම සහ අපනයන ශක්තිමත් වීම හමුවේ 2019 වසරේ දී ජංගම ගිණුමේ හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 2.6ක් දක්වා පහළ යනු ඇතැ යි පුරෝකථනය කෙරේ.

    “මන්දගාමී ගෝලීය පෙර දැක්ම සහ ශ්‍රී ලංකාවේ ඉහළ රාජ්‍ය ණය ප්‍රමාණය හමුවේ සාර්ව ආර්ථික ස්ථායිතාව පවත්වා ගැනීමට විචක්ෂණශීලී ප්‍රතිපත්ති පවත්වා ගෙන යෑම සහ ආයතනික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම තීරණාත්මක වේ.

    “2018 වසරේ දී වූ දේශපාලනික අස්ථාවරභාවය සහ පාස්කු ප්‍රහාරයන්හි ප්‍රතිඵල, රාජ්‍ය මූල්‍ය ක්‍රියාකාරිත්වය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. 2018 වසරේ සිට ඉදිරියට ගෙන එන ලද විදේශීය මූල්‍යනයන්ගෙන් යුතු ප්‍රාග්ධන ව්‍යාපෘති සහ හිඟ මුදල් පියවීම හේතුවෙන් වසරේ මුල් කාලය තුළ දී වියදම් එක්රැස් වීම මෙන් ම ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් පසු ව වක්‍ර ආදායම් තියුණු ලෙස පහළ යෑම  හේතුවෙන් ජූනි අග රාජ්‍ය මූල්‍ය ඉලක්කය විශාල ප්‍රමාණයකින් මඟ හැරිණි. පස් වන සමාලෝචනයේ දී එකඟතාවකට පැමිණි වැඩසටහන් ඉලක්ක තවදුරටත් ළඟා විය නො හැකි මට්ටමක පැවතුන ද, 2019 අයවැයේ ඉතිරි ව ඇති ආදායම් සම්බන්ධ ක්‍රියාමාර්ග ක්‍රියාවට නැංවීම සහ විචක්ෂණශීලී වියදම් කළමනාකරණය තුළින් 2019 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 0.2ක ප්‍රාථමික රාජ්‍ය මූල්‍ය අතිරික්තයක් ළඟා කර ගැනීමට බලධාරීහු කැප වී සිටිති.

    “වැඩසටහන යටතේ අත් කර ගත් ප්‍රතිලාභ ආරක්ෂා කර ගැනීමට, ඉහළ මට්ටමක පවතින රාජ්‍ය ණය පහළ දැමීමට සහ වඩාත් ඉලක්කගත සමාජ සහ ප්‍රාග්ධන වියදම් සඳහා ඉඩකඩ සලසා දීමට මැදිකාලීන ව සහ 2020 වසරේ දී ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ඉදිරියට ගෙන යෑම සඳහා බලධාරීන් දක්වන කැපවීම දූත මණ්ඩලයේ අගය කිරීමට ලක් විය. බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුකූලතාව සහතික කිරීම තුළින් රාජ්‍ය ආදායම් වර්ධනය කිරීම සහ වියදම් කළමනාකරණයේ කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීමට අඛණ්ඩ ව පියවර ගත යුතු වේ. රාජ්‍ය ණය තිරසාර මට්ටමක පවත්වා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල වන පරිදි, ස්වාධීන රාජ්‍ය ණය කළමනාකරණ ආයතනයක් පිහිටුවීමට සහ රාජ්‍ය මූල්‍ය නීති නැවත සකස් කිරීමට බලධාරීන්ගේ මැදිකාලීන සැලසුම් දූත මණ්ඩලයේ ඇගයීමට ලක් විය. විදුලිබල අංශයේ පිරිවැය අකාර්යක්ෂමතා සහ සහනාධාර මනා ව කළමනාකරණය කර ගනිමින් බලශක්ති අංශයේ ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීම මෙන් ම ශ්‍රීලංකන් ගුවන් සේවයේ මූල්‍යමය ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම, රාජ්‍ය මූල්‍ය අවදානම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය වන වැදගත් පියවර වේ.

    “ශ්‍රී ලංකා මහ බැංකුවේ විචක්ෂණශීලී සහ දත්ත මත පදනම් වූ මුදල් ප්‍රතිපත්ති ප්‍රවේශය සහ වැඩසටහනේ එකඟතාවන්ට අනුකූල වන පරිදි සංචිත මට්ටම් ශක්තිමත් කිරීම සඳහා වන එහි කැපවීම සඳහා දූත පිරිස සහාය දැක්වී ය. දැඩි ගෝලීය මූල්‍ය තත්ත්වයන් හේතුවෙන් ඇති විය හැකි පීඩනය තීව්‍ර වුවහොත්, මහ බැංකුව, විනිමය අනුපාතිකය අඛණ්ඩ ව නම්‍යශීලී ව පැවතීමට ඉඩ දිය යුතු අතර, විදේශ විනිමය වෙළෙඳපොළ වෙත සිදු කරන මැදිහත්වීම් අධික  විචලනයන් අවම කිරීම සඳහා සීමා කළ යුතු ය. නව මහ බැංකු පනත, ජාත්‍යන්තර ව පිළිගත් ක්‍රමවේදයන්ට අනුකූල ව මහ බැංකුවේ අරමුණු, පාලනය, වගවීම සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම තුළින් නම්‍යශීලී උද්ධමන ඉලක්කරණයක් වෙත යොමු වීම සඳහා වන පෙර දැක්මේ වැදගත් සන්ධිස්ථානයක් වේ.

    “ත්‍රස්ත ප්‍රහාරයන්ගෙන් අනතුරු ව සංචාරක අංශයට පහසුකම් සැලසීම සඳහා සහ ණය තත්ත්වයන් පහසු කරවීම සඳහා, ණය ආපසු ගෙවීමේ දී සහන සැලසීම මෙන් ම බැංකු පොලී අනුපාතික මත උපරිම සීමා පැනවීම යනාදී තාවකාලික පියවර

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කර ඇත. ණය ගුණාත්මකභාවය දුර්වල වීම සහ ලාභදායීත්වය පහළ යෑම හමුවේ මූල්‍ය පද්ධතියට සිදු විය හැකි අවහිරතා වැළැක්වීම සඳහා ණය තත්ත්වයන් ස්ථාවර වූ වහා ම මෙම තාවකාලික පියවර  ඉවත් කළ යුතු ය. බැංකු හා බැංකු නො වන මූල්‍ය ආයතනවල නියාමන සහ අධීක්ෂණ රාමුව ශක්තිමත් කිරීම සඳහා දරනු ලබන උත්සාහයන් දූත පිරිස විසින් අගයන ලදී. සාර්ව විචක්ෂණශීලී ප්‍රතිපත්ති රාමුව හා ආතති පරීක්ෂා (Stress Testing) හැකියාවන් වැඩිදියුණු කිරීම සහ අවදානම් රාමුව ඉහළ නැංවීම සඳහා වූ  ශ්‍රී ලංකා මහ බැංකුවේ සැලසුම් මූල්‍ය පද්ධති ස්ථායිතාව සඳහා දායකත්වය සපයනු ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීම ශක්තිමත් කිරීම සහ ත්‍රස්තවාදී ක්‍රියා මූල්‍යනය කිරීමට එරෙහි ව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් බලධාරීන් ප්‍රගතියක් අත්කර ගෙන ඇත.

    “රාජ්‍ය ආදායම කෙරෙහි ඇති විය හැකි බලපෑමට පිළියම් යොදන අතරතුර වෙළෙඳ සහ ආයෝජන යාන්ත්‍රණ ක්‍රමයෙන් ලිහිල් කිරීම තුළින් තරගකාරිත්වය සහ මැදිකාලීන වර්ධනය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලාංකික බලධාරීන් විසින් අඛණ්ඩ ව සැලසුම් ක්‍රියාත්මක කිරීම දූත පිරිසේ පැසසුමට ලක් විය. විශේෂයෙන් ම රාජ්‍ය  අංශයේ ආයතන පාලනය සහ විනිවිදභාවය ඉහළ නැංවීම සහ දූෂණය අවම කිරීම මෙන් ම කාන්තාවන් ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයන් ඉහළ නැංවීම සහ සමාජ සුභසාධන සංක්‍රාම වඩාත් අවශ්‍ය වන පුද්ගලයින් වෙත ම ලබා දීම කෙරෙහි ඉලක්ක කිරීම ආදිය සඳහා වන මනා කැපවීම තුළින් මෙම සැලසුම් සඳහා දායකත්වයක් සැපයිය යුතු වේ.

    “ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස මෙම සංචාරයේදී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ, මුදල් අමාත්‍ය සමරවීර, මුදල් රාජ්‍ය අමාත්‍ය වික්‍රමරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති කුමාරස්වාමි, භාණ්ඩාගාර ලේකම් සමරතුංග, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති වීරසිංහ යන මහත්වරුන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් සහ පාර්ලිමේන්තු විපක්ෂයේ, ව්‍යාපාරික ප්‍රජාවේ, සිවිල් සමාජයේ සහ ජාත්‍යන්තර ආයතනයන්හි නියෝජිතයන් ද හමු විය.”