ප්‍රේමදාස දියණියගේ හොර නෝට්ටු කතාවේ ඇත්ත මේකයි

    March, 26, 2014

    ලක්ෂ 20ක වටිනාකමකින් යුතු මුදල් නෝට්ටු තොගයක් බැංකුවේ තැන්පත් කිරීමට පැමිණි හිටපු ජනාධිපති ආර්.ප්‍රේමදාස මහතාගේ දියණිය වන දුලාංජලී ජයකොඩි මහත්මියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර අවසන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

    අවශ්‍ය වුවහොත් පසුව යළිත් ප්‍රශ්න කරන බවත්, ඇය මෙන්ම ඇයට මුදල් දුන් බව පවසන ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාරික රොලික් ඔගස්ටස් ප්‍රිශාන්ත පෙරේරා යන අය අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.

    මේ වන විට හෙළිදරව්වී ඇති අන්දමට සම්පූර්ණ සිදුවීම මෙසේය. දුලාංජලී මහත්මියගේ පවුලේ උදවිය හා මෙම ඇඟළුම් කම්හල් කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රිශාන්ත පෙරේරා යන අය කාලයක සිට සමීපව දැන හැඳින එක්ව ව්‍යාපාරික කටයුතුවල නිරතවූවන්ය.

    ඒ අනුව ප්‍රිශාන්ත පෙරේරා යන අය විසින් කළමනාකරණය කරනු ලබන ප්‍රසිද්ධ ඇඟළුම් කම්හලේ දුලාංජලී මහත්මියද මුදල් ආයෝජනය කර ඇති අතර ඒ වෙනුවෙන් ඇයට හිමිවිය යුතු ලාභාංශ වෙනුවෙන් ලක්ෂ 20ක මුදලක් ගෙවිය යුතුව පැවතී තිබේ.

    ඊයේ දිනයේ දුලාංජලී මිය එසේ තමාට අයවිය යුතුව තිබූ ප්‍රිශාන්ත පෙරේරා විසින් දුන් බව කියන මුදල් ලක්ෂ 10 බැගින් වූ මුදල් බෑග් දෙකක් කුරුඳුවත්ත බැංකුවට ගෙනවිත් තැන්පත් කිරීමට උත්සාහ දරා ඇත. එම අවස්ථාවේදී කවුන්ටරයේ සිටි බැංකු සේවකයින් අදාළ මුදල් පිරික්සීමේදී ඒවා ව්‍යාජ නෝට්ටු බව දැන ඇයගෙන් ඒවා ලැබුණු ආකාරය පිළිබඳ විමසා තිබේ.

    ඒ අනුව එහිදී යම් බහින්බස්වීමක්ද සිදුවී ඇති අතර වහාම බැංකු කළමනාකාරිත්වය විසින් පොලීසිය දැනුවත් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබේ.

    එම අවස්ථාව වන විට මුදල් දුන් බව කියන ප්‍රිශාන්ත පෙරේරා යන අයද කුරුඳුවත්ත අදාළ බැංකුවට රු.ලක්ෂ 20 ක වටිනාකමකින් යුතු චෙක්පතක් රැගෙන පැමිණ සිටි බවත්, එම චෙක්පත ලියා තිබුණේ එක්තරා පුද්ගලික සමාගමකට බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද අනාවරණය කළේය.

    එකී සමාගමට අයත් නිවසක් දුලාංජලී මහත්මිය විසින් මිලදී ගෙන ඇති බවත්, ඊට අදාළ මුදල් මෙලෙස ගෙවීමට ඇය පැමිණ සිටින්නට ඇති බවත් කියැවෙයි.

    ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පොලීසිය එහි පැමිණෙන විටත් ප්‍රිශාන්ත පෙරේරා යන අයද බැංකුව තුළ සිටි බවත්, ඒ අනුව දුලාංජලී හා ප්‍රිශාන්ත යන දෙදෙනාගෙන්ම ප්‍රශ්න කොට අත්අඩංගුවට ගත් බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    “රුපියල් ලක්ෂ 20 ක මුදලට 5000 නෝට්ටු 400 ක් ඇතුළත් විය යුතුව තිබුණත් ඒ මුදල් පරීක්ෂා කිරීමේදී එතැන නෝට්ටු 403 ක් තිබුණා. ඒ කියන්නේ රු.15,000 ක් වැඩිපුර තිබුණා. එයින් පැහැදිලි වෙන්නේ මේ මුදල් සැකකරු විසින් දුලාංජලීට දුන්නාට පසුව ඇය විසින් ගණන් කිරීමක් හෝ නොකොට බැංකුවට ගෙනවිත් ඇති බවයි. ඒ හින්දා ඇයට මෙම ජාවාරමට චේතාන්විතව සම්බන්ධවූ බවක් හිතන්නට අමාරුයි. අනික ඒ මුදල් සාමාන්‍යයෙන් පරීක්ෂා කර බැලුවානම් ඒ ෆෝ කොළවල මුද්‍රණය කළ ෆොටෝ කොපි කරන ලද ඒවා බව ඕනම කෙනෙකුට තේරෙනවා. ඒ නිසා ඇය එකී මුදල් ව්‍යාජ බව දැන දැන තැන්පත් කිරීමට පැමිණියා යයි හිතන්නට බෑ“

    අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.

    කෙසේ වෙතත් සැකකාර ප්‍රිශාන්ත පෙරේරා යන අයගෙන් ප්‍රශ්න කිරීමේදී එකී මුදල් දුලාංජලීට ලබාදුන්නේ තමන් බවත්, ඒවා ව්‍යාජ ඒවා බවත් සැකකරු විසින් පිළිගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වාදෙයි.

    එසේම සැකකරුගේ ඇතුල්කෝට්ටේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී ඒ අයුරින්ම මුද්‍රණය කළ ව්‍යාජ 5000 මුදල් නෝට්ටු 424 ක්, මුද්‍රණ යන්ත්‍රය, ලැප්ටොප් වර්ගයේ පරිගණකයක්,ඩොංගල් 1ක් ආදී උපකරණ තොගයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

    හොර නොට්ටු මුද්‍රණය කිරීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් වසරේ (2013) රු.5000 නෝට්ටු 311ක්ද, 2000 නෝට්ටු 1002 ක්ද, 1000 නෝට්ටු 2733ක්ද, 500 නෝට්ටු 1088ක්ද, 200 නෝට්ටු 1ක්ද,100 නෝට්ටු 119 ක්ද, 50 නෝට්ටු 113ක්ද,20 නෝට්ටු 1ක්ද සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

    එසේම මේ වසරේ ගෙවුණු කාලය තුළ බියගම ප්‍රදේශයේ ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය හොර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ ජාවාරමක් සොයාගත් බවත්, ඔවුන් විසින් රුපියල් 500 මුදල් නෝට්ටු 2838 ක් හුවමාරු කර ඇති බවත්, එහි වටිනාකම රුපියල් 14, 19 000 ක් බවත් කියැවෙයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එකී ව්‍යාජ රු.500 නෝට්ටු වලින් සොයාගත හැකිවූයේ 426 ක් පමණක් බවත්, ඒ අනුව තවත් ව්‍යාජ රු.500 නෝට්ටු 2409 ක් ජනතාව අතර පවතින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

    කෙසේ වෙතත් මේවන විට පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රිශාන්ත පෙරේරා යන අය විසින් මුද්‍රණය කරන ලද රු.5000 හොර නෝට්ටුවලට අදාළව අනුක්‍රමික අංක මෙසේය. ඒවා නිවසේදී හමුවූ සහ බැංකුවේදී හමුවූ ලෙස වර්ගීකරණය කර ඇත.

    නිවසේදී

    අංක R/8-763216

    අංක R/2-563286

    අංක R/11-126904

    අංක R/6-915796

    අංක R/4-173787

    අංක R/16-502107

    අංක R/11-653764

    අංක R/16-223695

    අංක R/15-274760

    අංක R/11-327321

    අංක R/4-056918

    අංක R/15-569025

    අංක R/4-730176

    අංක R/7-919782

    අංක R/2-846160

    අංක R/13-048119

    අංක R/16-454759

    අංක R/16-076694

    අංක R/5-037145

    අංක R/16-247362

    අංක R/11-470930

    අංක R/9-724345

    අංක R/6-780615

    අංක R/8-075518

    අංක R/14-667233

    බැංකුවේදී

    අංක R/15-274760

    අංක R/11-470930

    අංක R/16-247362

    අංක R/5-037145

    අංක R/16-076694

    ඒ අනුව ඉහත අනුක්‍රමික අංක සහිත රු.5000 මුදල් නෝට්ටු භාවිතාවන්නේද යන්න මහජනයා ප්‍රවේශම් සහගත විය යුතුය.