මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු සංගමයෙන් නව CT ස්කෑන් යන්ත්‍රයක් සඳහා මිලියන 30 වටිනා ගොඩනැගිල්ලක් IDH රෝහලට

    April, 23, 2020

    සමස්ත දිවයිනම මුහුණ දී සිටින COVID 19 වසංගත තත්ත්වය මධ්‍යයේ ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනයේ  (IDH) කාලෝචිත අවශ්‍යතාවයක් වශයෙන් පවතින නව CT ස්කෑන් යන්ත්‍රයක් ස්ථානගත කිරීම සදහා භාවිත කල හැකි රුපියල් මිලියන 30ක් වටිනා ගොඩනැගිල්ලක් ඉදි කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු සංගමය ඉදිරිපත් වී සිටියි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහයෝගය සහිතව ඉදි කෙරෙන මෙම ගොඩනැගිල්ල IDH රෝහලේ දෛනික ප්‍රතිකාර සදහා අතිශයින් වැදගත් වේ.

    මේ දක්වා ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනයේ  (IDH) සතුව CT ස්කෑන් යන්ත්‍රයක් නොමැති අතර එහි රෝගීන්ට අවශ්‍ය CT ස්කෑන් පරීක්ෂණ සිදු කිරීම සදහා ආසන්න පහසුකම් සහිත රෝහල වෙත ගෙනයාම සිදු කරනු ලබයි. මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනයේ  (IDH) ජාතික බෝවන රෝග ආයතනය (NIID) වෙත CT ස්කෑන් යන්ත්‍රයක් වෙන් කර ඇතිමුත් එය ස්ථානගත කිරීම සදහා ඉඩකඩ සහිත ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුවී තිබේ.

    ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනයේ  (IDH) කායික රෝග උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා විසින් මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 කණ්ඩායමේ ඉංජිනේරු සංගමය වෙත සිදු කරන ලද ඉල්ලීමකට අනුව මෙම වර්ග මීටර 325 ක විශේෂ මහල් දෙකේ ගොඩනැගිල්ල ඉදි කිරීමේ වගකීම එම සංගමය විසින් බාරගත් අතර එය CT ස්කෑන් යන්ත්‍ර කාමරය, පාලන කාමරය, UPS සහ ට්‍රාන්ස්ෆෝමර් කාමර, රෝගීන් රැදීසිටීමේ කාමර, උපදේශකයින් සහ විකිරණවේදීන් සඳහා වන කාමර යනාදියෙන් සමන්විත වනු ඇත.

    මෙම දායකත්වය සදහා වන නිල නිවේදනය ඉංජිනේරු සංගමයේ සභාපති සහ ප්‍රධාන ලේකම් විසින් ශ්‍රී ලංකා බෝවන රෝග විද්‍යායතනයේ  (IDH) හි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක,  IDH කායික රෝග උපදේශක වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ IDH විකිරණවේදී උපදේශක වෛද්‍ය කිෂානි අබේවර්ධන යන මහත්ම මහත්මීන් වෙත ඉදිරිපත් කිරීම පසුගිය අප්‍රේල් 6 වනදා සිදු වූ අතර එහිදී මෙම වසරේ මැයි මස මුල් භාගය තුල ගොඩනැගිල්ල ඉදිකිරීමට අවශ්‍ය රුපියල් මිලියන 30ක මුදල සපයා දීමට එකග වන ලදී.

    ඒ අනුව අරමුදල් එක්රැස්කිරීමේ ව්‍යාපාරය පසුගිය අප්‍රේල් 8 වන දින ආරම්භ කරන ලද අතර, ඉදිකිරීම් කටයුතු අප්‍රේල් 10 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ නාවික සිවිල් ඉංජිනේරු අධ්‍යක්ෂ කොමදෝරු සිසිර වීරකෝන් මහතාගේ නායකත්වයෙන් යුත් නාවික හමුදා කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලදී. එසේම මෙම ව්‍යාපෘතියේ ඉදිකිරිම් උපදේශක ලෙස මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශය (CECB) දක්වන කැපවීම හා සේවාවන් ප්‍රශංසනීය වන අතර  ව්‍යාපෘතිය අවසන් වන තෙක් මිනිස්බලය හා අධීක්ෂණය ලබා දෙමින් ව්‍යාපෘතියට පූර්ණ සහයෝගය ලබා දෙන බවට ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රතිඥයා දී තිබේ.

    මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු සංගමයේ සාමාජිකයන් මෙම ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම භාරදීම සඳහා පසුගියදා කොවිඩ් -19 කාර්ය සාධක බලකා මධ්‍යස්ථානයේ දී සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නියාරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ සහ යුද හමුදා කොමාන්ඩර් ලුතිනන් ජෙනරාල් ෂවින්ද්‍ර සිල්වා යන නිලධාරින් හමු වූ අතර මේ වන විට සාමාජිකයන් සහ සුබ පතන්නන්ගෙන් සහයෝගය සහිතව රුපියල් මිලියන 10 කට අසන්න මුදලක් එක්රැස් කරගැනීමට ඔවුනට හැකිවී තිබේ.

    ඒ අනුව, එළබෙන මැයි 20 වන විට නව ගොඩනැගිල්ලේ CT ස්කෑන් යන්ත්‍රය ස්ථාපනය කර භාවිතයට ගැනීමට සැලසුම් කර ඇත. අවශ්‍ය අරමුදල් රැස් කිරීමේදී 92/93 ඉංජිනේරු සංගමයේ සාමාජිකත්වයේ කොන්දේසි විරහිත කැපවීම සහ උත්සාහය අගය කරන අතරම, තවමත් මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කළ යුතු වගකීම් බොහොමයක් ඉතිරිව තිබේ. එබැවින් සෙසු ඉංජිනේරුවන්ගේ සහ ත්‍යාගශීලි ජනතාවගේ සහයෝගය බලාපොරොත්තු වන අතර ඔවුන් දක්වන ඕනෑම දායකත්වයක් සාදරයෙන් පිළිගන්නා බව සංගමය පවසයි. එම ආධාර පහත සඳහන් බැංකු ගිණුමට සැපයිය හැකිය.

    බැංකු ගිණුමේ නම : ENGINEERING ASSOCIATION OF GROUP 92/93 OF UOM

    ගිණුම් අංකය : 1114018250

    බැංකුව :  කොමර්ෂල් බැංකුව

    ශාඛාව : නාරාහේන්පිට ශාඛාව

    ස්විෆ්ට් කේතය: CCEYLKLX

    සටහන: කරුණාකර මුදල් බැර කිරීමෙන් පසු ඔබේ නම සහ ස්ලිප් පත +94 773 547136 වෙත WhatsApp කරන්න. ව්‍යාපෘතියේ වැඩි විස්තර සඳහා ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් 0777-307117 අමතන්න.

    මොරටුව විශ්ව විද්‍යාලයේ 92/93 ඉංජිනේරු සංගමය යනු ඉංජිනේරුවන් කණ්ඩායමක් වන අතර ඔවුන් 1998 දී මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ඇත - (උසස්පෙළ  1991 වර්ෂය). නිදහස් අධ්‍යාපන ක්‍රමයේ නිෂ්පාදන ලෙස ඔවුන් බොහෝ ප්‍රජා සේවා ව්‍යාපෘතිවල නියැලෙන අතර මෙය ඔවුන්ගේ තවත් විශාලතම ව්‍යාපෘතිය ලෙස සැලකේ.