IIT Career Day සමගින් IIT සිසුන් දහසකට වැඩි පිරිසකට ක්ෂේත්‍රයේ රැකියා දොරටු විවර වෙයි

    April, 24, 2023

    වසර 33 කට අධික කාලයක් මුළුල්ලේ ශ්‍රී ලාංකීය සිසුන්ට තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර අධ්‍යයන ක්ෂේත්‍රයේ වෘත්තීය දොරටු විවර කර දුන් Informatics Institute of Technology (IIT) ආයතනය, වාර්ෂිකව පවත්වනු ලබන IIT Career Day වෘත්තීය ප්‍රදර්ශනය පසුගියදා පවත්වනු ලැබිණි. මෙවරත් සිසුන් 1000 කට අධික පිරිසකට රැකියා දොරටු විවෘත කරමින් එය, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි.

    ඉකුත් වසරේ මෙන්ම, සිසුන් විශාල පිරිසක් හා ක්ෂේත්‍රයේ පිළිගත් සමාගම් ඒකරාශි කරමින් පැවති මෙම වෘත්තීය ප්‍රදර්ශනයට දේශීය හා  ජාත්‍යන්තර සමාගම් 80 කට අධික ප්‍රමාණයක සහභාගිත්වය ලැබී තිබිණි. එම සමාගම් විසින් IIT සිසුන්ට වත්තීය මාර්ගෝපදේශන ලබා දීමත්, වෘත්තීය ක්ෂේත්‍රයට පිවිසෙන නවකයින් බඳවා ගැනීමත් සිදු කෙරිණි. IIT ආයතනයෙහි තෙවන වසරෙහි අධ්‍යයන කටයුතු හදාරන සිසුන් රැකියා සඳහා අනුයුක්ත කිරීම, උපාධි වැඩසටහනෙහි අනිවාර්ය අංගයක් ලෙසින් සිදු කෙරෙන්නකි. එමගින් සිසුන්ට අධ්‍යාපනය ලබන අතරතුරම ජාත්‍යන්තර මට්ටමේ රැකියා වෙත  අනුගත වීමටත්, එම රැකියා සඳහා ඉවහල් වන නිපුණතා ඔප් නංවා ගැනීමටත් මග සැලසේ. එබැවින්, IIT උපාධිධාරියකුට උපාධි පාඨමාලාව නිම කළ වහාම වෘත්තීය ලෝකයට නිපුණ වෘත්තිකයකු ලෙස කඩිනමින් පියවර තැබීමටද හැකියාව සලසේ.

    IIT සිසුන් අනාගත වෘත්තිකයින් ලෙස  සිය ආයතන සඳහා සාදරයෙන්  පිළිගැනීමට සැදී පැහැදී සිටින තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සමාගම් සියල්ලක්ම පාහේ IIT Career Day වෘත්තීය ප්‍රදර්ශනය හා අත්වැල් බැදගෙන තිබිණි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුම ඇති Artificial Intelligence (AI), Machine Learning (ML), Robotic Process Automation (RPA), Virtual Reality (VR), Augmented Reality (AR), Blockchain, IOT, Cyber Security හා 5G වැනි ක්ෂේත්‍ර ගණනාවකින් ප්‍රමුඛ පෙළේ දෙස් විදෙස් සමාගම් එලෙස IIT Career Day සමග එක්ව තිබිණි.

    ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාර ක්ෂේත්‍රයෙන් ජාත්‍යන්තර ප්‍රමිතියේ අධ්‍යාපනයේ පුරෝගාමී උසස් අධ්‍යාපන ආයතනයක් ලෙසින්  IIT ආයතනය IIT Career Day ඔස්සේ සිය උපාධිධාරීන්, ප්‍රමුඛ පෙළේ දේශීය හා ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සමාගම් හා අනෙකුත් සමාගම් සමග  සම්බන්ධ කිරීම සිදු කරනු ලබයි. එහිදී සිසුන්ට වසරක් සඳහා අධුනික වෘත්තිකයින් ලෙස රැකියාවන්හි නිරත වීමට, සමාගම් ගණනාවක් අතරින් සුදුසුම සමාගම තෝරා ගැනීමට අවකාශ සැලසෙන අතර, එකම දිනකදී  එකම පරිශ්‍රයක් තුළ සමාගම් ගණනාවක සම්මුඛ පරීක්ෂණ ගණනාවකට පෙනී සිටීමට හැකි වීමද මෙම වැඩසටහනෙහි විශේෂත්වයකි.

    ශ්‍රී ලංකාවේ මුල්ම පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතනය ලෙසින් 1990 ඇරඹුණු IIT ආයතනය, එහි Business of School හා School of Computing මගින් ශ්‍රී ලාංකීය සිසුන් සඳහා ලොව පිළිගත් බ්‍රිතාන්‍ය උපාධි පාඨමාලා පිරිනමයි. එක්සත් රාජධානියේ වෙස්මිනිස්ටර් විශ්ව විද්‍යාලය හා රොබර්ට් ගෝර්ඩ්න් විශ්ව විද්‍යාලය මගින් පිරිනමන උපාධි හා පශ්චාත් උපාධි පිරිනමන මෙරට සම්මානිත උසස් අධ්‍යාපන ආයතනයක් වන IIT ආයතනය, වසරක් පාසා දහස් ගණනක සිසුන් පිරිසක් කෂේත්‍රයට දායද කරමින්  සුවිශාල මෙහෙවරක් ඉටු කරයි. මේ වන විට IIT ආයතනය මගින් එලෙස ක්ෂේත්‍රයට දායාද කළ 5000 කට අධික උපාධිධාරීහු තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර හා අනෙකුත් ක්ෂේත්‍රවලින් දේශීය හෝ විදේශීය සමාගම්වල, රාජ්‍ය ආයතනවල විවිධ තනතුරු දරමින් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කරති.