header logo
Top News
Dialog Axiata සහ IITM Pravartak, ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රගමනය උදෙසා එක්වෙයි
Dialog Axiata සහ IITM Pravartak, ශ්‍රී ලංකාවේ පර්යේෂණ සහ නවෝත්පාදන ප්‍රගමනය උදෙසා එක්වෙයි

ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කරමින්, තාක්ෂණික සහ දැනුම් හුවමාරු අවස්ථා උදා ‌කෙරේ

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ඉන්දියාවේ මදුරාසි ඉන්දීය තාක්ෂණික ආයතනයේ (IITM) හි, Pravartak Technologies Foundation සමඟින් අවබෝධතා ගිවිසුමකට (MOU) අත්සන් තබනු ලැබීය. ආයතන දෙක අතර ඇති කරගත් මෙම සහයෝගිතාවය තුළින්, ශ්‍රී ලංකාවේ ව්‍යවහාරික පර්යේෂණ සහ තාක්ෂණික ප්‍රගමනය උදෙසා ඉවහල් වන ඉදිරිගාමී සංවර්ධන ප්‍රයත්නයන් දියත් කිරීම අරමුණයි.

මෙරට පර්යේෂණ සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය උදෙසා ජාත්‍යන්තර විශේෂඥ දැනුම මෙන්ම, ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් ඒකරාශී කරන මෙම සහයෝගිතාවය, ඉන්දු-ශ්‍රී ලංකා සහයෝගීතාවේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයකි. ලාංකීය ජනතාවත්, රටක් වශයෙන් සමස්ත ශ්‍රී ලංකාවත් හමුවේ ඇති ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සොයාගැනීම අරමුණ පෙරදැරිව ඇතිකර ගත් මෙම සහයෝගිතාවයෙන්, මෙරට පර්යේෂණ හැකියාව ශක්තිමත් කරමින්, නව පර්යේෂණ සංකල්ප සමාජයට වැඩදායී ලෙස යොදාගැනීමටද අවස්ථාව සැලසේ.

අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමට අනුව, IITM Pravartak හි පර්යේෂණ ජාලය, ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ කිරීමේ වගකීමට උරදෙන ඩයලොග් සමාගම, මෙම සහයෝගීතාවේ කේන්ද්‍රීය සම්බන්ධීකාරකයා සහ තාක්ෂණික ප්‍රවර්ධකයා ලෙස කටයුතු කරයි. මෙම සහයෝගිතාවය යටතේ පර්යේෂණ හා තාක්ෂණික සංවර්ධනයට අදාළව, ප්‍රධාන ක්ෂේත්‍ර පහක් කෙරෙහි අවධානය යොමු කිරීමට අපේක්ෂිතය. ඒ අනුව, නවෝත්පාදන සහ ස්ථාපන සහය (incubation), ව්‍යවහාරික පර්යේෂණ සහ විශ්වවිද්‍යාල විද්‍යාගාර පහසුකම්, AI තාක්ෂණය සහ ජනතාව කේන්ද්‍රකර ගත් විසඳුම්, ක්ෂේත්‍රයට අවශ්‍ය නිපුණතා සහ දක්ෂතා සංවර්ධනය මෙන්ම ජාත්‍යන්තර දැනුම් හුවමාරුවද සිදුකෙරෙනු ඇත.

මීට අදාළව මුල් අදියරේදී දියත් කෙරෙන ව්‍යාපෘතිවලට, සිංහල සහ දෙමළ භාෂාවලින් සංවාද කළ හැකි AI සංවාදමය/chat සහය පද්ධති, ඩිජිටල් තාක්ෂණය පදනම් කර ගනිමින් දියත් කෙරෙන ඩෙංගු රෝගය වැළැක්වීමේ සහ පාලන වැඩසටහන් මෙන්ම, අලි - මිනිස් ගැටුමට විසඳුම් පිරිනමන වැඩසටහන් දියත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරෙනු ඇත. ඒ සම්බන්ධයෙන් දියත් කිරීමට නියමිත නියමු ව්‍යාපෘතීන්වල (pilot projects) ප්‍රගතිය අනුව, වැඩිදුරටත් ව්‍යාපෘති සංවර්ධනය කිරීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙම හවුල්කාරිත්වයේ වැදගත්කම පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ගරු ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙසේ පැවසීය. “ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තිබෙන්නේ, ඓතිහාසික බැඳීමක් වගේම, දෙරටේම ප්‍රගතිය වෙනුවෙන් වූ පොදු කැපවීම පදනම් කරගත්, දිගුකාලීන, බහුවිධ සම්බන්ධතාවයක්. රටවල් දෙකේ ද්වි-පාර්ශ්වික සම්බන්ධතා නිරන්තරයෙන් පරිණත වන වකවානුවක, තාක්ෂණ සහ පර්යේෂණ ක්ෂේත්‍රයට අදාළ මෙම සහයෝගීතාව, අපගේ ආයතන සහ ජනතාව අතර වඩාත් ගැඹුරු සම්බන්ධතා පවත්වාගෙන යාමට සුවිශාල අවස්ථාවක් උදා කරනවා. මෙම ව්‍යාපෘතිය, දෙරට අතර වර්ධනය වන සහයෝගිතාව සඳහා තවදුරටත් අර්ථවත් දායකත්වයක් සලසන ව්‍යාපෘතියක් විදහට මම සතුටින් පිළිගන්නවා.”

IITM Pravartak Technologies Foundation හි ප්‍රධාන විධායක නිලධාරී, ආචාර්ය ශංකර් ජයරාමන් මහතා සඳහන් කළේ මෙසේයි. “මෙම සහයෝගීතාවයෙන්, අධ්‍යාපනික පර්යේෂණ සහ ප්‍රායෝගික යෙදවුම් අතර සම්බන්ධය ශක්තිමත් හැකියාව සැලසෙනවා. ඩයලොග් සමාගම සමඟත්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සහ දේශීය පාර්ශ්වකාර ආයතන සමඟත් සමීපව කටයුතු කරමින්, පර්යේෂකයින්ට සහ සිසුන්ට දැනුම හුවමාරු කරගැනීමට, තාක්ෂණික හැකියාවන් වර්ධනය කිරීමට වගේම, සැබෑ ජනතා අවශ්‍යතා ඉටුකර ගත හැකි විසඳුම් නිර්මාණය කිරීමටත් හැකි පරිසරයක් ගොඩනැඟීම අපගේ බලාපොරොත්තුවයි. මේ තුළින්, පර්යේෂණ ක්ෂේත්‍රයේ නිරත විද්වත් ප්‍රජාවට වගේම, සමස්ත ක්ෂේත්‍රයටත් එකසේ වටින ඵලදායී සහයෝගිතාවයක් පවත්වා ගැනීම අපගේ අරමුණයි.”

මේ පිළිබඳව අදහස් දක්වමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී හි අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා මෙසේ පැවසීය. “ඩයලොග් අපි විශ්වාස කරන්නේ, තාක්ෂණයේ සැබෑ වටිනාකම ඇත්තේ, සැබෑ ජීවිතයේ මුහුණදෙන අභියෝග විසඳමින් ජනතාවටත්, සමාජයටත් වැඩදායි අවස්ථා උදා කරදීමට, ඒ සතුව ඇති හැකියාවේ බවයි. මෙම සහයෝගිතාවය තුළින් ජාත්‍යන්තර විශේෂඥ දැනුම, ශ්‍රී ලාංකීය දක්ෂතා සමඟ ඒකාබද්ධ කරමින්, දිගුකාලීන වෙනසක් සිදුකළ හැකි විසඳුම් පිරිනැමීම අපගේ අපේක්ෂාවයි. මෙම සහයෝගීතාවය සාර්ථක කරගැනීමට අපට ලබාදුන් වටිනා සහය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ගරු ඉන්දීය මහ කොමසාරිස්තුමන්ට සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කාර්යමණ්ඩලයට අපේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට කැමතියි. ශ්‍රී ලාංකික ජීවිත සහ ව්‍යාපාර සරුසාර කරමින්, සවිබල ගැන්වීමේ අපේ ගමනට මෙම සහයෝගිතාවය තව තවත් ශක්තිය ලබාදෙනවා.”

අදියරෙන් අදියර ක්‍රියාත්මක වීමට නියමිත මෙම සහයෝගිතාවයට අදාළව, මුල් අදියර ලෙසින්, තෝරාගත් නියමු ව්‍යාපෘතීන්වල හැකියාව මැන බැලීම සිදුකෙරෙන අතර, එම නියමු ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාවට නැංවීමට ඇති ඉඩකඩ පිළිබඳව ඉන් අනතුරුව විමසා බැලීමට නියමිතය. ඒ අනුව, මෙම සහයෝගිතාවයෙන් ඉදිරියේදී දියත් කෙරෙන සෑම ව්‍යාපෘතියක්ම, පැහැදිලි අරමුණකින් යුතුව, ප්‍රතිඵල සාර්ථකව මැන බැලිය හැකි ව්‍යාපෘතියක් ලෙසින් මෙහෙයවීමට අපේක්ෂිතය.

ඡායාරූපය - IITM Pravartak Technologies Foundation හි ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එම්. ජේ. ශංකර් ජයරාමන් මහතා (වමේ සිට තුන්වැන්නා) සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුපුන් වීරසිංහ මහතා (වමේ සිට පස්වැන්නා) අතර අවබෝධතා ගිවිසුම හුවමාරු කරගන්නා අවස්ථාව. මෙම අවස්ථාවට, ශ්‍රී ලංකාවේ ගරු ඉන්දීය මහ කොමසාරිස්, සන්තෝෂ් ජා මහතාගේ (වමේ සිට 4වන) ගෞරවණීය සහභාගිත්වයද හිමි විය. (වමේ සිට): ඉන්දීය මහ කොමාසාරිස් කාර්යාලයේ (ආර්ථික සහ වාණිජ) උපදේශිකා දේවිකා ලාල් මහත්මිය, IITM Pravartak Technologies Foundation හි නියෝජ්‍ය කළමනාකරු අරවින්දන් සුන්දරරාජන් මහතා, ආචාර්ය එම්. ජේ. ශංකර් ජයරාමන් මහතා, ගරු ඉන්දීය මහ කොමසාරිස්, සන්තෝෂ් ජා මහතා, සුපුන් වීරසිංහ මහතා සහ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ සමාගම් ලේකම්, විරන්ති ආටිගල මහත්මිය ඡායාරූපයට පෙනී සිටි අවස්ථාව.
MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%