header logo
Top News
"බුද්ධිමත් මහ බැංකුවක්: කෘතිම බුද්ධි යුගයේ විශ්වසනීයත්වය ගොඩනැගීම"
"බුද්ධිමත් මහ බැංකුවක්: කෘතිම බුද්ධි යුගයේ විශ්වසනීයත්වය ගොඩනැගීම"

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 76 වන සාංවත්සරික දේශනය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන තොරතුරු නිලධාරිනී සහ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ෂිරින් හමීඩ් මහත්මිය එක්වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ 76 වන සාංවත්සරික දේශනය 2026 ඔක්තෝබර් 23 වන දින මහ බැංකු සන්ථාගාරයේ දී පැවැත්වුණු අතර ඒ සඳහා ප්‍රවීණ වෘත්තිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, ශාස්ත්‍රඥයින්, මූල්‍ය අංශයේ නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් සහභාගී විය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන තොරතුරු නිලධාරිනී සහ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ෂිරින් හමීඩ් මහත්මිය විසින් “බුද්ධිමත් මහ බැංකුවක්: කෘතිම බුද්ධි යුගයේ විශ්වසනීයත්වය  ගොඩනැගීම” යන තේමාව යටතේ මෙම දේශනය පවත්වන ලදී.

මහ බැංකුකරණයේ දී පරිවර්තනීය වෙනසක් සිදු කිරීමට කෘතිම බුද්ධියට ඇති හැකියාව පිළිබඳව මෙම දේශනයේ දී විමසා බැලුණු අතර, මහ බැංකු කාර්යභාරයන් වඩාත් පුළුල් ලෙස ඉටු කිරීම තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා කෘතිම බුද්ධිය මගින් සැලසෙන අවස්ථා මෙන්ම, වඩාත් ප්‍රවේශම්කාරී ලෙස කළමනාකරණය කළ යුතු අවදානම් පිළිබදව ද අවධානය යොමු කෙරිණි. මහ බැංකු සිය මෙහෙයුම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන් සඳහා කෘතිම බුද්ධිය පාදක කරගත් විසඳුම් සඳහා වැඩි වශයෙන් යොමු වන පසුබිමක, මහජන විශ්වාසය ගොඩනැගීම සහ එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. 

තවද, කෘතිම බුද්ධිය වගකීම් සහගත ලෙස අනුගත කර ගැනීම සඳහා ක්‍රියාකාරීත්වය පැහැදිලි කර දිය හැකි, ආරක්ෂිත සහ ආචාරධර්ම වලට අනුකූල පද්ධති මෙන්ම ඒ සඳහා සහාය වන ශක්තිමත් පාලන රාමු පැවතීමේ අවශ්‍යතාව ද හමීඩ් මහත්මිය විසින් අවධාරණය කරන ලදී. කෘතිම බුද්ධිය භාවිත කිරීම තුළින් ආයතනික වගවීම ඉහළ නැංවෙන බව, තීරණ ගැනීමේ ක්‍රියාවලිය ශක්තිමත් කෙරෙන බව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කෙරෙන බව සහතික කිරීම සඳහා ඵලදායී මානව අධීක්ෂණයක් පවත්වාගෙන යෑමේ වැදගත්කම ඇය විසින් තවදුරටත් පෙන්වා දෙන ලදී. 

මහ බැංකුකරණය තුළ දිනෙන් දින වෙනස් වන කෘතිම බුද්ධියේ භූමිකාව සහ එමගින් විශේෂයෙන්, ආයතනික විශ්වසනීයත්වය, මහජන විශ්වාසය සහ මහ බැංකු මෙහෙයුම්වල ඵලදායීතාව කෙරෙහි එල්ල වන බලපෑම පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට සහ දැනුම බෙදා ගැනීමට මෙම සාංවත්සරික දේශනය මගින් අවස්ථාව සැලසුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සිය 76 වන සාංවත්සරික දේශනය තුළින්, ආයතනික ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම, මහජන විශ්වාසය සුරක්ෂිත කිරීම සහ අනාගත මහ බැංකුකරණය සඳහා සූදානම් වීමේ අරමුණ ඇතිව, නව තාක්ෂණය සහ එය වගකීම් සහගත ලෙස අනුගත කර ගැනීම පිළිබඳ දැනුවත් සංවාද ප්‍රවර්ධනය කිරීමට ඇති කැපවීම නැවත තහවුරු කරන ලදී.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%