
From Resilience to Sustainable Growth මැයෙන් ඊයේ (27) කොළඹ දී පැවති ආයෝජක සමුළුවක දී අදහස් දක්වමින්, ශ්රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ (SEC) සභාපති ජ්යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා, ප්රාග්ධන වෙළඳපොළ විෂමාචාරයන්ට එරෙහිව ප්රබල අනතුරු ඇඟවීමක් කළේය.
වෙළඳපොළේ වත්මන් තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ සුරැකුම්පත් කොමිසමේ සභාපතිවරයා, දැනට ගනුදෙනු ප්රමාණයන් සහ සහභාගීත්වය ඉතා අඩු මට්ටමක පවතින බැවින්, කුඩා කොටස් ප්රමාණයකින් පවා වෙළඳපොළ දර්ශක වෙනස් කිරීමේ හැකියාවක් පවතින බව පෙන්වා දුන්නේය. මෙවැනි වාතාවරණයක් තුළ වෙළඳපොළ හැසිරවීම් (market manipulation) ඇතුළු ප්රාග්ධන වෙළඳපොළ විෂමාචාරයන් පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු බව ඔහු ප්රකාශ කළේය.
"ප්රාග්ධන වෙළෙඳපොළ වෘත්තිකයන් ලෙස අපට විශාල කාර්යභාරයක් ඉටු කිරීමට තියෙනවා. එම නිසා මෙවැනි තත්ත්වයක් දකින විට, කරුණාකර ඊට ආධාර අනුබල දෙන පාර්ශවකරුවන් බවට පත් නොවන්න," යනුවෙන් මහාචාර්ය දිසාබණ්ඩාර මහතා ක්ෂේත්රයේ වෘත්තිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
වත්මන් නියාමන වටපිටාව 2010, 2011 සහ 2012 වසරවලට වඩා වෙනස් වන අතර, එය 2020 නව පනත යටතේ ක්රියාත්මක වන බව සභාපතිවරයා අවධාරණය කළේය. විශේෂයෙන්ම කොටස් තැරැව්කරුවන් අමතමින්, අනිසි ක්රියාවන් සිදුවීමට කිසිදු ඉඩක් තබා නොගන්නා ලෙසත්, එසේ වුවහොත් එහි ප්රතිඵල "ඉතා අප්රසන්න වනු ඇති" බවත් ඔහු අනතුරු ඇඟවීය.
පසුගිය වසර දෙක තුළ ක්ෂේත්රයේ හැසිරීම් රටාව නියාමකයින් ලෙස ඉතා සමීපව නිරීක්ෂණය කළ බවත්, සමස්තයක් ලෙස බහුතරය හොඳින් කටයුතු කළ බවත් පැවසූ මහාචාර්ය දිසාබණ්ඩාර මහතා, "එහිදී ‘නරක ළමයින්‘ කිහිප දෙනෙකු සිටි බවත්, ඔවුන්ට අදාළ පණිවුඩය ලබා දී ඇති බැවින් ඉදිරියට කිසිදු නිදහසට කරුණක් හෝ සමාවක් නැති බවත්" විවෘතව පැවසීය.
වසර දෙකක් බලා සිටි බවත්, ඉවසීමට සීමාවක් ඇති බැවින් ඉදිරියේදී සමස්ත ක්ෂේත්රයම වෘත්තීය විනය පිළිබඳව ඉතා බරපතල ලෙස කටයුතු කළ යුතු බවත් ඔහු පැවසීය. වෙළඳපොළ අඛණ්ඩතාව ඉහළ නැංවීම සහ ආයෝජකයින්ට නිවැරදි උපදෙස් ලබා දීම වෙනුවෙන් ඉදිරියේදී තවත් අඛණ්ඩ වෘත්තීය සංවර්ධන (CPD) වැඩසටහන් සංවිධානය කරමින් වෘත්තිකයන් දැනුවත් කිරීමට පියවර ගන්නා බවද SEC සභාපතිවරයා වැඩිදුරටත් තහවුරු කළේය.












