
British Council ආයතනය විසින් HSBC Sri Lanka සමඟ එක් වී ‘Youth Connect: Inclusive Economic Empowerment (IEE) – Green Pathways’ නමින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්රී ලංකාවේ නැගී එන නීල-හරිත ආර්ථිකය තුළ රැකියා, ව්යවසායකත්ව සහ නායකත්ව අවස්ථා වෙත ප්රවේශ වීමට තරුණ තරුණියන්ට සහය වීම මෙහි අරමුණයි.
SEVANTHA Urban Resource Centre සහ Muslim Aid Sri Lanka විසින් ක්රියාවට නංවනු ලබන මෙම වැඩසටහන මඟින්, රැකියා සහ ව්යවසායකත්ව අවස්ථා ගවේෂණය කිරීමට තරුණ තරුණියන්ට සහය වන අතරම, සැමට විවෘත තිරසාර ආර්ථික වර්ධනයක වැදගත්කම පෙන්වා දීමද සිදු කෙරේ.
British Council සහ HSBC Sri Lanka අතර හවුල්කාරීත්වය සනිටුහන් කළ සංකේතීය සමාරම්භක උත්සවයකින් අනතුරුව වැඩසටහන නිල වශයෙන් දියත් කරන ලදි. එම අවස්ථාවේදී වැඩසටහනේ ප්රධාන අරමුණු සඳහා වන පොදු කැපවීම සංකේතවත් කරමින් ආයතන දෙකෙහි නියෝජිතයෝ සමරු ඡායාරූපයකටද පෙනී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ British Council Sri Lanka හි අධ්යක්ෂිකා ක්ලෙයාර් සියර්ස් මහත්මිය මෙසේ පැවසුවාය:
“ශ්රී ලංකාවේ නීල-හරිත අනාගතය හැඩගැස්වීම සඳහා දායක වීමට අවශ්ය දක්ෂතා, කුසලතා සහ අධිෂ්ඨානය මෙරට තරුණ තරුණියන් සතුයි. HSBC සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය ඔස්සේ, ශීඝ්රයෙන් වෙනස් වන ආර්ථිකයක් තුළ සාර්ථක වීමට අවශ්ය නිපුණතා, ආත්ම විශ්වාසය සහ සම්බන්ධතා වැඩිදියුණු කරගැනීමට ඔවුන්ට අවස්ථාව උදා කර දෙමින්, එම අධිෂ්ඨානය යථාර්ථයක් බවට පත්කර ගැනීමට සහය වීමට අප බලාපොරොත්තු වනවා. අර්ථවත් සහ දීර්ඝකාලීන වෙනසක් ඇති කළ හැකි වන්නේ, රජය, අධ්යාපන ක්ෂේත්රය, පෞද්ගලික අංශය, සංවර්ධන හවුල්කරුවන් සහ ප්රජාවන් යන සියලු පාර්ශ්වයන් තරුණ පරපුර කෙරෙහි අවධානය යොමුකරමින්, පොදු දැක්මක් මත එක්ව කටයුතු කරන විටයි.”
HSBC Sri Lanka හි ප්රධාන විධායක නිලධාරී මාර්ක් සර්ජනර් මහතා මෙසේ අදහස් දැක්වීය:
“ආර්ථිකයන් සහ රැකියා පරිසරයන් වෙනස් වෙමින් පවතින පසුබිමක් තුළ, එම වෙනස්කම්වලට සාර්ථකව මුහුණ දීමටත්, අනාගත අවස්ථා ග්රහණය කරගැනීමටත් ජනතාවට සහාය වීම මේ මොහොතේ අන් කවරදාටත් වඩා වැදගත්. Green Pathways වැඩසටහන හරහා, ශ්රී ලංකාවේ නීල-හරිත ආර්ථිකය තුළ මතුවෙමින් පවතින අවස්ථා ගවේෂණය කරන තරුණ තරුණියන්ට ව්යවසායකත්වය සඳහා මඟපෙන්වීම සහ ඔවුන්ගේ මූල්ය හැකියාවන් වර්ධනය කිරීම ඇතුළු ප්රායෝගික සහාය ලබා දීමට හැකි වීම පිළිබඳව HSBC ආයතනය බෙහෙවින් සතුටු වෙනවා. British Council ඇතුළු අපගේ පාර්ශ්වකරුවන් සියලු දෙනා සමඟ එක්ව කටයුතු කරමින්, ශ්රී ලංකාව වෙනුවෙන් වඩාත් විවෘත හා ශක්තිමත් ආර්ථික අනාගතයක් ගොඩනැංවීමට දායක වීම අපගේ අරමුණයි.”
ඉදිරි මාස කිහිපය තුළදී මෙම වැඩසටහනට සහභාගී වන තරුණ තරුණියන්ට රැකියා සහ ව්යාපාර සඳහා වැදගත් වන දැනුම, පුහුණුව සහ උපදේශන සේවා මෙන්ම විවිධ ක්ෂේත්ර තුළ සම්බන්ධතා ගොඩනංවා ගැනීම සඳහා සහයෝගය හා මඟපෙන්වීමද හිමි වනු ඇත. විශේෂයෙන්ම තරුණ කාන්තාවන්, ආබාධ සහිත තරුණ තරුණියන් සහ ආර්ථික ක්රියාකාරකම්වලට සහභාගි වීමේදී බාධකවලට මුහුණ දෙන තරුණ තරුණියන් වැනි කාණ්ඩ සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරේ.
‘Green Pathways’ යනු British Council විසින් HSBC සමඟ එක්ව ක්රියාත්මක කරනු ලබන ‘Youth Connect: Inclusive Economic Empowerment’ වැඩසටහනේ එක් අංගයකි. රැකියා නියුක්තිය සහ ව්යාපාරකරණය ඔස්සේ වඩාත් සක්රීය ලෙස ආර්ථික ක්රියාවලියට දායක වීමට අවශ්ය දැනුම, කුසලතා සහ ආත්ම විශ්වාසය ගොඩනංවා ගැනීමට තරුණ පරපුරට සහය වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි.
‘Youth Connect: Inclusive Economic Empowerment – Green Pathways’ වැඩසටහන සඳහා 2026 නොවැම්බර් 30 දිනය දක්වා අයදුම්පත් භාරගැනේ. ලැබෙන අනුපිළිවෙළ අනුව අයදුම්පත් සලකා බලනු ලබන බැවින්, හැකි ඉක්මනින් අයදුම් කිරීම සුදුසුය. මෙම වැඩසටහන සහ ඊට අයදුම් කිරීමේ ක්රියාවලිය පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා British Council Sri Lanka හි Facebook සහ Instagram පිටු වෙත පිවිසෙන්න.












