
බ්‍රිතාන්‍ය වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අවස්ථා පුළුල් කිරීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සමඟ එක්ව ලන්ඩනයේදී දෙදින ව්‍යාපාරික ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වා තිබේ.
2026 ඔක්තෝබර් 21 සහ 22 යන දෙදින පැවැති මෙම වැඩසටහනට ව්‍යාපාරික හා ආයෝජන සංසදයක්, ජාලගත සබඳතා ගොඩනැඟීමේ අවස්ථාවක් සහ ද්විපාර්ශ්වික ව්‍යාපාරික සාකච්ඡා ඇතුළත් විය. බ්‍රිතාන්‍ය ගැනුම්කරුවන්, ආයෝජකයන් සහ ව්‍යාපාරික සංවිධාන නියෝජනය කරමින් 140කට ආසන්න පිරිසක් ඊට සහභාගී වූහ.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා නායකත්වය දුන් අතර, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහතා ද එක්ව සිටියහ.
සංසදය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ආර්ථිකය 2024 සහ 2025 වසර දෙකේදීම සියයට 5ක වර්ධනයක් වාර්තා කර ඇති බවයි. ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා නියාමන ක්‍රියාවලීන් සරල කිරීම, රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම සහ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම කෙරෙහි රජය අවධානය යොමු කරන බව ද ඔහු පැවසීය.
තිලකා ජයසුන්දර මහත්මිය පෙන්වා දුන්නේ 2025 වසරේ කාර්මික අංශය සියයට 7.8ක වර්ධනයක් අත්කරගෙන ඇති බවයි. එම වසරේ සෘජු විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ඇති අතර, එය සියයට 72ක වර්ධනයක් බව ද ඇය සඳහන් කළාය.
එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා දෙරටේ දිගුකාලීන වෙළෙඳ සබඳතා අවධාරණය කළ අතර, බ්‍රිතාන්‍යයේ Developing Countries Trading Scheme (DCTS) වැඩසටහන යටතේ ශ්‍රී ලාංකික අපනයන සඳහා ලැබෙන සහනදායී වෙළෙඳපොළ ප්රවේශයේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.
අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ශ්‍රී ලංකාවේ තිරසාර නිෂ්පාදන, ජාත්‍යන්තර තත්ත්ව ප්රමිතීන් සහ අපනයන තරගකාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය සමාගම්වලට ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 සඳහා සහභාගී වන ලෙස ආරාධනා කළේය. වෙළෙඳ හා ආයෝජන සාකච්ඡාවලදී නව ව්‍යාපාරික හවුල්කාරිත්ව සහ ආයෝජන අවස්ථා පිළිබඳව ද අවධානය යොමු විය.
2027 ජනවාරි 14 සිට 17 දක්වා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එක්ස්පෝ 2027 ප්‍රදර්ශනය මෙරට අපනයනකරුවන්ට සහ නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර ගැනුම්කරුවන් හා ආයෝජකයන් සමඟ සෘජුව සම්බන්ධ වී නව වෙළෙඳ අවස්ථා සොයා ගැනීමට වැදගත් වේදිකාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.











