
පාරිභෝගික සේවාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව අතින් විශිෂ්ටත්වයක් දක්වන ලොව පුරා ගුවන් සේවා සමාගම් ඇගයීමට ලක් කරමින්, සුප්‍රකට ගෝලීය සඟරාවක් වන TIME සහ Statista ආයතනය එක්ව නිකුත් කළ ප්‍රථම ‘ලොව හොඳම ගුවන් සේවා සමාගම් 2027’ ලැයිස්තුවේ, එමිරේට්ස් ගුවන් සේවය ලොව හොඳම ගුවන් සේවා සමාගම ලෙස නම් කර ඇත.
මීට අමතරව, ‘හොඳම වටිනාකම’ සහ ‘ව්‍යාපාරික සංචාර’ යන කාණ්ඩ යටතේද එමිරේට්ස් ගුවන් සේවය පළමු ස්ථානය දිනා ගත් අතර, තවත් කාණ්ඩ කිහිපයකද ඉහළ ඇගයීම් හිමිකර ගැනීමට සමත් විය.
එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති ශ්‍රීමත් ටිම් ක්ලාක් මහතා මෙසේ පැවසීය: “මෙම වසරේ මුහුණ දීමට සිදු වූ අභියෝග හමුවේ වුවද, අපගේ නිෂ්පාදන සහ සේවාවන්හි සෑම අංශයකම පාහේ ආයෝජනය කිරීම අපි අඛණ්ඩව සිදු කළෙමු. TIME සඟරාවේ මෙම ඉහළ ශ්‍රේණිගත කිරීමෙන් පෙන්නුම් කරන පරිදි, ගුවන් සේවාවක් මූලික අවශ්‍යතා නිවැරදිව සපුරාලන විට පාරිභෝගිකයින් එය හඳුනා ගන්නා බැවින්, අපි එම අවධානය ඉදිරියටත් පවත්වා ගෙන යන්නෙමු. ගුවනේදී මෙන්ම ගොඩබිමේදීද එමිරේට්ස් අත්දැකීම සැබෑවක් බවට පත් කරන අපගේ කාර්ය මණ්ඩලයට මෙහි ගෞරවයෙන් වැඩි කොටසක් හිමි විය යුතුය. ඔවුන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම අපගේ පාරිභෝගිකයින් දිනපතා අත්විඳියි. 2027 වසර සහ ඉන් ඔබ්බට වඩාත් ශක්තිමත් තත්ත්වයක් කරා ළඟා වීමට අපි දැනටමත් කටයුතු කරමින් සිටිමු. එබැවින් එමිරේට්ස් වෙතින් තවත් බොහෝ දේ බලාපොරොත්තු විය හැකිය.”
TIME සඟරාවට අනුව, එමිරේට්ස් ගුවන් සේවයේ මෙම ශ්‍රේණිගත කිරීමට හේතු වී ඇත්තේ ගුවන් සේවා ක්ෂේත්‍රයේ වඩාත් සුඛෝපභෝගී ගුවන් ගමන් අත්දැකීම් ලබාදෙන ගුවන් සේවයක් ලෙස එය දිනාගෙන ඇති කීර්තිනාමය, Premium Economy සේවාව තවදුරටත් පුළුල් කිරීම සහ සංචාරක ගමනාන්තයක් ලෙස ඩුබායි නගරයට පවතින අඛණ්ඩ ආකර්ෂණයයි. එමෙන්ම, ඉන්දියන් සාගර කලාපය, යුරෝපය, අග්නිදිග ආසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා සංචාරක ප්‍රවර්ධන ආයතන සමඟ ඇතිකරගෙන තිබෙන හවුල්කාරිත්වයන් ද සිය ගෝලීය ගුවන් ගමන් ජාලය හරහා වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට එමිරේට්ස් ගුවන් සේවයට උපකාරී වී තිබෙන බව සඟරාව පවසයි.
මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර ඇත්තේ, දත්ත සහ ව්‍යාපාරික බුද්ධි තොරතුරු සපයන ප්‍රමුඛ ආයතනයක් වන Statista විසින් සියලු මහාද්වීපවල සිටින ගුවන් මගීන් ආවරණය වන පරිදි සිදු කරන ලද ප්‍රමාණාත්මක අධ්‍යයනයක් මත පදනම්වය. මෙහිදී ප්‍රතිචාර දැක්වූවන්, පසුගිය වසර තුන තුළ තමන් ගමන් කළ ගුවන් සේවා සමාගම් පහක් දක්වා වූ සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තම තෘප්තිමත් මට්ටම ඇගයීමට ලක් කළහ. ඔවුන් විසින් ගුවන් යානා අභ්‍යන්තරයේ සුවපහසුව, සේවා ගුණාත්මකභාවය, විනෝදාස්වාදය සහ සම්බන්ධතා පහසුකම්, ආහාර පාන, ගෙවන මුදලට සරිලන වටිනාකම සහ පවුලේ සැමට සුදුසු පරිසරයක් තිබේද යන්න පිළිබඳව ලකුණු ලබා දෙන ලදී. ඉන්පසු Statista ආයතනය විසින් මෙම ඇගයීම්, එක් එක් ගුවන් සේවා සමාගමේ මෙහෙයුම් කාර්යක්ෂමතා දත්ත සමඟ ඒකාබද්ධ කර සමස්ත ලකුණු ලබා දෙන ලදී.
TIME සඟරාවේ මෙම ඉහළම පිළිගැනීම, සෑම ගුවන් යානා පන්තියකම සෑම ගමනක්ම මගීන්ට අමතක නොවන සංචාරක අත්දැකීමක් ලබාදීම වෙනුවෙන් එමිරේට්ස් ගුවන් සේවය දිගුකාලීනව සිදුකර ඇති නිෂ්පාදන හා සේවා ආයෝජනවල ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකිය.
එමිරේට්ස් ගුවන් සේවයේ මෑතකාලීන සුවිශේෂී ජයග්‍රහණ අතරට ඇමෙරිකානු ඩොලර් බිලියන 7ක වටිනාකමින් යුත් ගුවන් යානා කැබින් නවීකරණ වැඩසටහන, ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රථම වරට හඳුන්වා දුන් සුවපහසුකම් පිළිබඳ නවෝත්පාදන සහ මේ වන විට එමිරේට්ස් ගුවන් යානා 74ක ස්ථාපනය කර ඇති Starlink Wi-Fi තාක්ෂණය ඔස්සේ ලබාදෙන අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව ඇතුළත් වේ. එමෙන්ම, සම්මාන රැසකින් පිදුම් ලැබූ එමිරේට්ස් හි අයිස් (ice) විනෝදාස්වාද පද්ධතිය ඔස්සේ භාෂා 40කට අධික සංඛ්‍යාවකින් නවතම චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, සංගීතය, ක්‍රීඩා සහ පොඩ්කාස්ට් ඇතුළත් නාලිකා 6,500කට අධික සංඛ්‍යාවක් මගීන්ට රසවිඳිය හැකිය. මීට අමතරව, ගුවන් සේවය සිය ගෝලීය ගුවන් ගමන් ජාලය පුරා දිනපතා විවිධ මෙනු 1,570කට අධික සංඛ්‍යාවක් පිරිනමමින් උසස් මට්ටමේ භෝජන අත්දැකීමක් ද මගීන් වෙත ලබා දෙයි.





















