header logo
Analysis
ආර්ථිකය ගැන කතා කරන හර්ෂ සහ ඉරාන් ප්‍රබලයෝ අභිබවමින් ජනතා කැමැත්ත ප්‍රදර්ශනය කරයි
Aug 19, 201512:54 PM
ආර්ථිකය ගැන කතා කරන හර්ෂ සහ ඉරාන් ප්‍රබලයෝ අභිබවමින් ජනතා කැමැත්ත ප්‍රදර්ශනය කරයි

ආර්ථික කරුණු කාරණා පිළිබඳව කතා කරන සංවාද කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛතම දෙදෙනකු බවට ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න පසුගිය කාලයේදී පවත්ව තිබුණි.

ඔවුන් දෙදෙනා පසුගිය පාර්ලිමේන්තුව ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස නියෝජනය කළ අතර මෙවර පළමු වරට කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ලයිස්තුව යටතේ තරග වැදුණි.

මහ මැතිවරණ සමයේදී ඇතැම් දෙනා සඳහන් කළේ මොවුන් දෙදෙනාට මෙම මනාප ක්‍රමය යටතේ තරග කිරීම අසීරු බවත් බුද්ධිමතුන් ලෙස නැවතත් ජාතික ලයිස්තුවෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමට කටයුතු කළා නම් වඩාත් යහපත් බවයි.

විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කණ්ඩායමට පාඨලී චම්පික රණවක සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක්වීම මොවුන් දෙදෙනාට අවාසියක් යැයි නැගුණු තවත් තර්කයකි.

කෙසේවෙතත්, මේ වනවිට ලැබී ඇති මනාප ඡන්ද වලට අනුව ආචාර්ය හර්ෂ ද සිල්වා කොළඹ දිස්ත්‍රික්කයේ එ.ජා.ප. ලයිස්තුවේ තුන්වන ස්ථානයත් ඉරාන් වික්‍රමරත්න අටවන ස්ථානයත් දිනා ගැනීමට සමත්ව තිබේ. ඔවුන් දෙදෙනා පිළිවෙලින් මනාප ඡන්ද 114,148 ක් සහ මනාප ඡන්ද 82,738 ක් ලබාගෙන ඇත.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මාධ්‍ය හමුවේ පැවසුවේ තමා කෙරෙහි ජනතාව අති විශාල විශ්වාසයක් තබා ඇති බවත් මෙතරම් ජයග්‍රහණයක් තමා අපේක්ෂා නොකළ බවයි.

මෙහිදී, කැපී පෙනෙන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වාට සහ ඉරාන් වික්‍රමරත්නට වඩා අඩුවෙන් එ.ජා.ප. ප්‍රබලයෝ කිහිප දෙනෙකුම මනාප ඡන්ද ලබාගැනීමයි.

නව රජයේ අතුරු අයවැය මගින් සමාගම් වලට අතීතයට බලපාන ලෙස පනවා තිබෙන සුපිරි වාසි බද්දට (Super Gain Tax) තමන් අකමැති බව මහ මැතිවරණ ප්‍රචාරණ සමයේදී ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න යන දෙදෙනාම සඳහන් කර තිබුණි.

එක්සත් ජාතික පක්ෂය විසින් මහ මැතිවරණයට අදාළව නිකුත් කළ පංච විධ ක්‍රියාවලිය නැමති ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන්නේ සමාජ වෙළඳ පොළ ආර්ථික ප්‍රතිපත්තියක් (Social Market Economy) වන අතර මොවුන් දෙදෙනාම අන් අපේක්ෂකයින්ට වඩා මෙම ආර්ථික ප්‍රතිපත්තිය සමාජය තුළ ප්‍රචාරය කිරීමට කැපවී සිටිනු දකින්නට ලැබුණි.

MostRead
VideoStories

Stock Market

Market Closed

Share Volume

N/A

Turnover

N/A

ASPI

N/A

N/AN/A%
S&P SL20

N/A

N/AN/A%