
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (09) දිනයේ දී යළිත් වරක් ඒකක 21,500 සීමාව පසුකරනු ලැබීය. පසුගිය සැප්තැම්බර් 09 දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,500 මට්ටමින් පහළට පැමිණීමෙන් පසු මාස දෙකකට පසු නැවත වතාවක් එම සීමාව අද දිනයේ දී ඉක්මවා යාම විශේෂත්වයකි.
අද දින සියලු කොටස් මිල දර්ශකය ඒකක 291.72ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරමින් ඒ අනුව ගනුදෙනු අවසානයේ දී ඒකක 21,531.37ක් දක්වා ඉහළ යන ලදී.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩව සිව්වෙනි දිනයටය. ඒ අනුව ගෙවී ගිය ගනුදෙනු දින පහ තුළ දී සමස්තයක් ලෙස ඒකක 1,452.1ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොටස් වෙළෙඳපොළ සමත් වී තිබේ.
S&P SL20 දර්ශකය ඒකක 97.77ක වර්ධනයක් අත්පත් කර ගනිමින් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,143.15ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
මේ අතර අද දින රු. බිලියන 3.33ක පිරිවැටුමක් වාර්තා වී තිබුණු අතර සමාගම් 168ක මිල ගණන් පූර්ව ගනුදෙනු දිනයට සාපකේෂව ඉහළ ගොස් තිබීම විශේෂ සිදුවීමක් විය.
















