
BMW රථයක හිමිකරුවෙකු වීමට අපේක්ෂා කරන පාරිභෝගිකයින්ට DFCC බැංකුව සහ Mels Automobiles (Pvt) Ltd. අතර ඇති කරගත් නව උපායමාර්ගික හවුල්කාරිත්වය හරහා, නම්‍යශීලී ලීසිං විසඳුම් සමඟින් සුවිශේෂී සේවා සහ වගකීම් සම්බන්ධ ප්‍රතිලාභ අත්විඳීමට දැන් අවස්ථාව උදා වී තිබේ.
දෙපාර්ශ්වයේම ජ්‍යෙෂ්ඨ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් 2026 නොවැම්බර් 5 වන දින අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් මගින් මෙම හවුල්කාරිත්වය නිල වශයෙන් තහවුරු කෙරිණි. ශ්‍රී ලංකාවේ බලයලත් BMW අලෙවි නියෝජිතයා බවට පත්වීමෙන් පසු Mels Automobiles සමාගම ඇති කරගත් ප්‍රථම බැංකු හවුල්කාරිත්වය මෙය වන අතර, DFCC බැංකුව එහි ආරම්භක බැංකු සහකරු බවට පත් වේ.
මෙම සහයෝගීතාව මගින් DFCC බැංකුවේ මූල්‍ය විශේෂඥතාව සහ Mels Automobiles සමාගමේ උසස් මට්ටමේ මෝටර් රථ සහ අලෙවියෙන් පසු සේවා හැකියාවන් ඒකාබද්ධ කෙරේ. ඒ ඔස්සේ රථයක් තෝරා ගැනීම සහ මූල්‍ය පහසුකම් සලසා ගැනීමේ සිට නඩත්තු කටයුතු සහ දිගුකාලීන හිමිකාරීත්වය දක්වා වඩාත් පහසු හා ඒකාබද්ධ අත්දැකීමක් පාරිභෝගිකයින්ට හිමි වේ.
මෙම හවුල්කාරිත්වය යටතේ, සුදුසුකම් ලබන පාරිභෝගිකයින්ට ණය ඇගයීමට සහ අදාළ නියමයන් හා කොන්දේසිවලට යටත්ව, තරගකාරී පොලී අනුපාත යටතේ වසර හතක් (7) දක්වා වූ ආපසු ගෙවීමේ කාලසීමාවන් සහිත DFCC ලීසිං පහසුකම් ලබා ගත හැකිය.
ඊට අමතරව, DFCC බැංකුව හරහා මූල්‍ය පහසුකම් සලසා ගන්නා පාරිභෝගිකයින්ට අදාළ නියමයන් හා කොන්දේසිවලට යටත්ව Mels Automobiles වෙතින් නොමිලේ සේවා වාර තුනක් සහ අමතර වසර දෙකක වගකීම් කාලයක් හිමි වන අතර, එමගින් මුළු වගකීම් කාලසීමාව තවදුරටත් දීර්ඝ වේ. Mels Automobiles හරහා BMW රථයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන සහ සුදුසුකම් ලබන පාරිභෝගිකයින් සඳහා මෙම මූල්‍ය සේවා පහසුකම් හඳුන්වා දී ඇත.
මෙම නව සහයෝගීතාව හඳුන්වා දීම වෙනුවෙන්, DFCC බැංකුව සිය DFCC Pinnacle පාරිභෝගිකයින්ට නව BMW 7 Series රථයේ සුවිශේෂී පෞද්ගලිකවම අත්දැකීමක් (exclusive private preview) ලබාගැනීම සඳහා ආරාධනා කරන ලදි. සුහදශීලී හා පෞද්ගලික වටපිටාවක් තුළ මෙම සුඛෝපභෝගී සෙඩාන් රථය අත්විඳීමටත්, මෙම හවුල්කාරිත්වය හරහා ලැබෙන මූල්‍ය සහ හිමිකාරීත්ව ප්‍රතිලාභ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීමටත් එහිදී ආරාධිතයින්ට අවස්ථාව සැලසිණි.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ පැවසීය: “බොහෝ පාරිභෝගිකයින්ට BMW රථයක හිමිකරුවෙකු වීම යනු වසර ගණනාවක අපේක්ෂාවක් සහ පෞද්ගලික ජයග්‍රහණයක් ලෙස පිළිබිඹු කරන්නකි. එම අපේක්ෂාව කරා යන මූල්‍ය ගමන් මග වඩාත් සැලසුම්සහගත, නම්‍යශීලී සහ විශ්වාසදායක ලෙස ලබාදීම අපගේ කාර්යභාරයයි. DFCC බැංකුවේ මූල්‍ය විශේෂඥතාව සහ Mels Automobiles පිරිනමන උසස් මෝටර් රථ අත්දැකීම ඒකාබද්ධ කිරීමෙන්, සන්නාම දෙකෙන්ම පාරිභෝගිකයින් අපේක්ෂා කරන ගුණාත්මකභාවය සහ විශ්වාසය පිළිබිඹු කරන හිමිකාරීත්ව ගමන් මගක් අපි නිර්මාණය කරන්නෙමු.”
Mels Automobiles (Pvt) Ltd. හි ප්‍රධාන විධායක නිලධාරී අනුෂ්ක පොලොන්ඕවිට මහතා අදහස් දක්වමින් මෙසේ සඳහන් කළේය: “ඔබ BMW රථයක් තෝරා ගන්නා විට, ඔබ තෝරා ගන්නේ ඒ පිටුපස සිටින කණ්ඩායම සහ ආයතනයයි. Melstacorp සමූහයේ කොටසක් ලෙස Mels Automobiles සෑම පාරිභෝගිකයෙකුටම එම ස්ථාවරත්වය ලබා දෙන අතර, DFCC බැංකුව සමඟ ඇති කරගත් අපගේ ප්‍රථම බැංකු හවුල්කාරිත්වය සහ එම විශ්වාසය, රථය මිලදී ගැනීමේ ක්‍රියාවලිය දක්වාම රැගෙන යයි. නම්‍යශීලී මූල්‍ය පහසුකම්, නියම ප්‍රමිතියෙන් යුත් රථවාහන, බලයලත් අලෙවියෙන් පසු සේවාව සහ දීර්ඝ කළ වගකීම් කාලය යන සියල්ල එක්ව, පාරිභෝගිකයින් සිය රථය භාර ගන්නා දිනයෙන් ඔබ්බටත් ඔවුන්ට අඛණ්ඩව සේවය සැලසීමේ පොරොන්දුවක් ලබා දෙයි. මෙය ශ්‍රී ලංකාව තුළ BMW සඳහා ඇරඹෙන නව පරිච්ඡේදයක පළමු පියවර වන අතර, අපගේ පාරිභෝගිකයින් සහ හවුල්කරුවන් සමඟ එක්ව එය ගොඩනැගීමට අපි අපේක්ෂා කරමු.”
Melstacorp PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Mels Automobiles, ශ්‍රී ලංකාවේ BMW රථවාහන සඳහා බලයලත් ආනයනකරු සහ අලෙවි නියෝජිතයා වේ. නව BMW රථවාහන ආනයනය කිරීම, අලෙවි කිරීම සහ බෙදා හැරීම මෙන්ම නියම BMW අමතර කොටස් සහ බලයලත් අලෙවියෙන් පසු සේවාවන් සැපයීම ද එහි මෙහෙයුම්වලට ඇතුළත් වේ.
DFCC බැංකුව සම්බන්ධයෙන් ගත් කල, විශ්වාසදායක විශේෂඥ හවුල්කරුවන් සමඟ සුදුසු මූල්‍ය විකල්ප සම්බන්ධ කිරීමෙන් පාරිභෝගිකයින්ට සිය වැදගත් මූල්‍ය තීරණ වඩාත් පහසු කරවීමේ පුළුල් දැක්ම මෙම හවුල්කාරිත්වයෙන් පිළිබිඹු වේ. එදිනෙදා බැංකු අවශ්‍යතාවල සිට ප්‍රධාන පෙළේ පෞද්ගලික සහ ජීවන රටා ආයෝජන දක්වා, පාරිභෝගිකයින්ගේ මූල්‍ය ප්‍රගතියේ විවිධ අදියරයන්හිදී ඔවුන්ට සේවය කිරීමට DFCC බැංකුව සතු හැකියාව ද මෙමගින් තවදුරටත් ශක්තිමත් වේ.
මූල්‍ය පහසුකම්, බලයලත් අලෙවියෙන් පසු සහාය සහ සුවිශේෂී හිමිකාරීත්ව ප්‍රතිලාභ එකට එක් කිරීමෙන්, DFCC බැංකුව සහ Mels Automobiles සමාගම BMW හිමිකාරීත්වය සඳහා වඩාත් පහසු හා සැලසුම්සහගත මාවතක් නිර්මාණය කරයි.
සුදුසුකම් ලබන රථවාහන, මූල්‍ය විකල්ප, ප්‍රතිලාභ සහ අදාළ නියමයන් හා කොන්දේසි පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා පාරිභෝගිකයින්ට DFCC බැංකුව හෝ Mels Automobiles සම්බන්ධ කර ගත හැකිය.




















