අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි

    March, 27, 2020

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ණය වාරික අය කිරීම සම්බන්ධයෙන් සහන ලබා දෙන ලෙස බැංකු හා මූල්‍ය ආයතන වෙත දැනුම් දී ඇති පසුබිමක බොහෝ බැංකු සිය ගනුදෙනුකරුවන්ගෙන් අදාළ ණයවාරික මේ විටත් කපා ගෙන ඇති බවට විවිධ මැසිවිලි අසන්නට ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛතම රාජ්‍ය වාණිජ බැංකුවක් වන මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතාගෙන් අද දෙරණ විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ එසේ අයකරගන්නා ලද ණය වාරික නැවත ලබා දෙන්න කටයුතු කරන බවයි.

    “මහ බැංකුවෙන් අපට විධාන නිකුත් කරලා තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න අපි බැඳිලා ඉන්නවා. ගොඩක් අය බලා ඉන්නවා, එහෙම කිව්වාට මේ ණය වාරිකයක් අය කළා නේද කියලා. නමුත් මහජන බැංකුව ලෙස අපි කියන්න කැමතියි එසේ අය වී ඇති ණය වාරිකය අපි ආපසු ලබා දෙන්න තීරණය කරලා තිබෙනවා.“

    මේ අතර මහජන බැංකුව අද (27) දින සිට වාහනවලට සවිකරන ලද තැනින් තැනට ගෙනයා හැකි ATM යන්ත්‍ර හඳුන්වා දෙන බව සුජීව රාජපක්ෂ මහතා අද දෙරණ වෙත පැවසීය. මෙහිදී වැඩිදුරටත් මහජන බැංකු සභාපතිවරයා අවධාරණය කර සිටියේ, ජනතාව මොබයිල් ඇප් වැනි ඉලෙක්ට්‍රොනික ගනුදෙනු ක්‍රම වෙත යොමු වීමෙන් සිය ගනුදෙනු නිවසේ සිටම සිදුකර ගත හැකි බවයි.

    “ලංකාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) 4,000 ක් පමණ තිබෙනවා. මේ හාරදාහ විවිධ බැංකුවලට අයත්. මහජන බැංකුවේ තියෙනවා 750 ක් විතර. මේ හැම බැංකුවකම ගනුදෙනුකරුවෙකුටම අනෙක් බැංකුවක ටෙලර් යන්ත්‍රයකටත් ගිහිං ගනුදෙනු කරන්න පුළුවන්. සමහරු මේ කාරණය ගැන දැනුවත් නැහැ. එම නිසා එකම නගරයක හෝ ස්ථානයක විවිධ ටෙලර් යන්ත්‍ර තිබෙනවා නම්, ගනුදෙනුකරුවන් තමන්ගේම බැංකුවේ ටෙලර් යන්ත්‍රයට ගිහිං පෝලීමේ ඉන්න අවශ්‍ය නැහැ. එකම දේ මෙහිදී ඉතා සුළු මුදලක් සේවා ගාස්තුවක් ලෙස අයකෙරෙනවා. මේ වෙලාවේ දී ඒ ගැන සැලකිය යුතු නැහැ.“

    “මහජන බැංකුවේ සීඩීඑම් යන්ත්‍රත් තියනෙවා 250 ක් විතර. ඒ සීඩීඑම් යන්ත්‍රවලින් මුදල් තැන්පත් කරන්න පුළුවන්. ඒ සඳහා බැංකු කවුන්ටරයට යාමට අවශ්‍ය නැහැ.“

    “අපි අද ඉඳන් මොබයිල් ATM යන්ත්‍ර හඳුන්වා දෙනවා. වාහනවලට සවිකරන ලද තැනින් තැනට ගෙනයා හැකි ATM යන්ත්‍ර.  දැනට බොහොම සීමිත ප්‍රමාණයක් තියෙන්නේ. කෙනෙකුට ඒ යන්ත්‍රයක් වෙත ගිහිං මුදල් ලබා ගන්න පුළුවන්. එය මහජන බැංකුව ලෙසට අපි ඉදිරිපත් කරන ලොකුම පහසුකමක්.“

    “විශේෂයෙන්ම මේ ඇඳිරිනීතිය කාලේ බැංකු වහලා කියලා යම්කිසි විදියකින් චෝදනා තිබෙනවා. නමුත්, මහජන බැංකුව විදියට අපේ කාර්යමණ්ඩලය සම්පූර්ණ සහයෝගය දෙනවා ඒවා ක්‍රියාත්මක කරන්න. ඒ අනුව ඇඳිරිනීතිය කාලය තුළත් හැම නගරයකම වගේ එක පළාතක ශාඛාවන් 5ක් 6 ක් පමණ විවෘත කරලා තිබනෙවා. ඒ වගේම ඇඳිරි නීතිය නැති වෙලාවට පැය 4ක් හෝ 5ක් අපි ගනුදෙනුකරුවන් සඳහා බැංකු ශාඛා විවෘත කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි කිසිම ගනුදෙනුකරුවෙක් මේ දක්වා හරවා යවලා නැහැ. ඒ හැම කෙනෙකුටම දෙන්න පුළුවන් උපරිම සේවාව අපි ලබා දෙනවා.“

    “මා මෙහිදී ගනුදෙනුකරුවන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. හැකි සෑම විටම ගනුදෙනු සඳහා ATM යන්ත්‍ර යොදා ගන්න. බැංකු කවුන්ටරය වෙත යාම සීමා කරන්න. මහජන බැංකුව තමයි ඩිජිටල්කරණය කරන ලද සියලු තාක්ෂණය සපිරි මේ රටේ තිබෙන ප්‍රධානම ඉලෙක්ට්‍රොනික වේදිකාව. මෙහිදී මොබයිල් ඇප්ලිකේෂන් භාවිතා කරලා හැකි සෑම විටම ගනුදෙනු කරන්න උත්සාහ කරන්න. තමන්ට ගෙවිය යුතු ඕනෑම ගෙවීමක් මේ ඇප් එකක් හරහා ගෙවන්න පුළුවන්. ඒ නිසා මේ ගෙවීම් කරන්න බැංකුවට යන්න අවශ්‍ය නැහැ. නිවසේ සිටම ඒවා කරන්න පුළුවන්.“