‘අලුත් රටට අලුත් බෙහෙත්‘ – Flucloxacillin  ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය ඇරඹෙයි

    December, 24, 2020

    රටේ අනාගතය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් හැම අංශකින් ම රට ස්වයං පෝෂිත කළ යුතුයි - අගමැති
    රත්මලානේ පිහිටි රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නව හෝමෝන පෙති හා කරල් නිෂ්පාදානාගාරය විවෘත කිරීමේ උත්සව අවස්ථාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) සිදුවිය. ‘අලුත් රටට අලුත් බෙහෙත්‘ සංකල්පය යටතේ රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් අලුතින් නිෂ්පාදනය ඇරඹූ ෆ්ලුකොෂසිලින් (Flucloxacillin 500mg) ඖෂධ පෙති සංකේතාත්මකව අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීම ද මෙහි දී සිදුවිය.
    එම උත්සව සභාව අමතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද අදහස් දක්වන ලදී.
    "2012 වසරේ දී තමයි අපිට මේ ව්යාපෘතිය ආරම්භ කරන්න අනුමැතිය ලැබුණේ. එදා මිලියන 4470ක් අපි මේ සඳහා වෙන් කරලා තිබුණා. ඖෂධ නීතිගත සංස්ථාවේ ධාරිතාව දෙ ගුණයකින් ඒ නිසා වැඩි වෙලා තියෙනවා. ඉතිං ඒ නිසා මේ ආයතනයේ තියෙන වැදගත්කම මම මෙතන ඉන්න පිරිසට අලුතින් කියන්න අවශ්ය නැහැ. නමුත් අපි දන්නවා අපේ සියයට 70%ක් වගේ ඖෂධ ගෙන්වන්නේ ඉන්දියාවෙන්, පාකිස්ථානයෙන් හා බංග්ලාදේශයෙන්. ඉතිං එහෙම අපි ගේනවා නම් අපිට තියෙනවා වගකීමක්, මේ රටේ ඒ ඖෂධ නිෂ්පාදනය කරන්න. අපිට ඒ සඳහා අවශ්ය ඥානය, බුද්ධිය තියෙන පිරිස් ඉන්නවා.“
    “ඒ නිසා එවැනි අවස්ථාවක දී අපි ඥානයෙන්, බුද්ධියෙන් සේවයක් ලබා ගත යුතු යැයි විශ්වාස කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව පැහැදිලිව මේ රටේ නිෂ්පාදනය කරන්න හැකි සෑම දෙයක් ම මේ රටේ නිෂ්පාදනය විය යුතුයි, ඒ වගේ ම පිටරටින් ගෙන්වන ඒවා අඩු කිරීම හෝ නතර කිරීම කළ යුතු යැයි විශ්වාස කරනවා. එහෙම නම් වෛද්ය අංශයෙන් වේවා, වෙනත් අංශයකින් වේවා අපි කළ යුතුව තියෙන්නේ ඒ සඳහා අවශ්ය වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමයි. අද මේ ආයතනයට ඇවිල්ලා නව ක්රියාකාරීත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගන්න හැකිවීම ගැන මම සන්තෝෂ වෙනවා. ඒ වගේ ම අපි අපේ රට හැම අංශයකින් ම ස්වයංපෝෂිත කරන්න ඕනි, ඒක අනුව තමයි අපිට අපේ අනාගතය ගැන බලාපොරොත්තු තියා ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ.“
    මෙම අවස්ථාව සඳහා අමාත්ය පවිත්රා වන්නිආරච්චි, අමාත්ය ගාමිණී ලොකුගේ, අමාත්ය සරත් වීරසේකර, රාජ්ය අමාත්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ, රාජ්ය අමාත්ය චන්න ජයසුමන, රාජ්ය අමාත්ය සීතා අරඹේපොළ, සෞඛ්ය අමාත්යංශ ලේකම් මේජර් ජනරාල් එස්.එච්. මුණසිංහ, රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්ය උත්පල ඉන්ද්රවංශ, රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.