September, 27, 2024
ශ්‍රී ලංකාවේ නව රජයක් පත් වු වහාම වෙනස් වන ප්‍රධානතම තනතුරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය හැඳින්විය හැකිය. මෑතකාලීනව අවධානය යොමු කිරීමේ දී 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු මහ බැංකු අධිපතිධූරයට අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් වූ අතර ඔහු මහින්ද රාජපක්ෂ මහතා 2015 දී ජනාධිපතිධූරයෙන් ඉවත්වනතුරුම එම තනතුර හෙබවීය.
ඉන් අනතුරුව 2015 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යහපාලන රජය බලයට පැමිණීමෙන් පසු අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති ධූරයට පත් කෙරුණද, සිය ධූරකාලය තුළ සිදුවූ බැඳුම්කර වංචා සිදුවීම් හමුවේ ඔහුට මහ බැංකු අධිපති අසුනින් ඉවත්වීමට සිදුවිය.
ඊට පසු 2016 වසරේ දී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපතිවරයා වශයෙන් පත්කෙරුණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් එම පත්වීම සිදුකළේය. 2022 වසර දක්වා ධූරයේ රැඳීසිටීමට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාට අවස්ථාව තිබුණ ද ඔහු 2019 වසරේ දී සිය ධූරයන් ඉල්ලා අස්වන්නේ, ගෝඨාභය රාජපක්ෂ මහතා නව ජනාධිපතිවරයා ලෙස පත්වීමත් සමඟ, සම්ප්‍රදායක් ලෙසින් නව මහ බැංකු අධිපතිවරයෙකු පත්කිරීමේ අවස්ථාව ඔහුට ලබාදෙමිනි.
මේ අතර අද (27) පෙරවරුවේ ශ්‍රී ලංකා මහ බැංකුව පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී ‘අද දෙරණ‘ මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකරන ලදී. ඒ පෙර කී සම්ප්‍රදාය මෙවරත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වන්නේ දැයි යනුවෙනි.
ඊට වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දක්වා සිටියේය.
“දැන් පවතින නව මහ බැංකු පනත යටතේ මුදල් මණ්ඩලය සහ අධිපති යම් නිශ්චිත කාලසීමාවකට පත් කරලා තියෙන්නේ. අපේ වගකීමක් තියෙනවා පත් කරනු ලැබූ කාලසීමාව තුළ අපිට හැකි උපරිම ප්‍රමාණයෙන් තියෙන නීති යටතේ ඒ දායකත්වය ලබා දෙන්න.“
“මම දකින්නේ නැහැ එහෙම හේතුවක්, ස්වාධීන මහ බැංකුවක, ස්වාධීනව පත්වුණු මුදල් මණ්ඩලයක්, රජයක් වෙනස් වුණු පමණින් වෙනස් විය යුතුද නැද්ද කියන එක, ඒක ඒ මණ්ඩලයේ ඉන්න සාමාජිකයින්ගේ පුද්ගලික තීරණ මිස, සම්ප්‍රදායක් අනුව සිදුවිය යුතු දෙයක් නෙමෙයි කියලා තමයි මගේ මතය.“
Video Story