ආනයන අවසරයෙන් පසු මෝටර් රථ 14,000ක් ඇවිත්

    June, 20, 2025

    2025 වසරේ පෙබරවාරි 01 වනදා සිට රජය විසින් මෝටර්රථ වාහන ආනයනයට අවසර දීමත් සමඟ වසරේ මේ දක්වා ගත වූ කාල සීමාව තුළ දී මෝටර් රථ වාහන 14,000ක් පමණ මෙරටට ආනයනය කර ඇති බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

    අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා පවසා සිටියේ එම මෝටර් රථ වාහන 14,000 තුළ වැඩි වශයෙන් සමන්විත වන්නේ මෝටර් කාර් බවත් ඒ හරහා මේ වන විට රජය විසින් උපයා ඇති ආදායම රුපියල් බිලියන 165ක් පමණ වන බවත් ය.

    ඊයේ (19) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේ ය.

    2020 වසරේ දී රජය විසින් වාහන ආනයනය නතර කිරීමත් සමඟ මෙම වසරේ මුල දක්වා වාහන ආනායනයෙන් කිසිඳු ආදායමක් මෙරටට නොලැබුනු බව ද ඔහු පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත් මේ වසරේදී මෝටර් රථ ආනායනයෙන් පමණක් රුපියල් බිලියන 450ක ආදායම් එක්රැස් කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු එහි දී පවසා සිටියේ.

    තව ද 2025 වසරේ ශ්‍රී ලංකා රේගුවට ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන අතර ජූනි මාසයේ 15 වන දින වනවිට රුපියල් බිලියන 900ක් ඉක්මවමින් ආදායම් එක් කර ඇති බවත්, වසර අවසන් වන විට රුපියල් බිලියන 2115ක ආදායම් ඉලක්කය ඉක්මවා යාමට අපේක්ෂා කරන බවත් අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩි දුරටත් පවසා සිටියේ ය.

    "මෝටර්රථ වාහන ගත්තම 2025 වසරේ පෙබරවාරි මාසේ 1වන දා සිට රජය මෝටර්රථ වාහන ආනයනය සඳහා අවසර දුන්නා. මේ වන විට මෝටර් රථ වාහන විශේෂයෙන් මෝටර් කාර් 14,000ක් පමණ ආනයනය කරලා තියනවා. ඒ තුළින් අපි රුපියල් බිලියන 165ක පමණ ආදායමක් එක්රැස් කරලා තියනවා. මේ වසරේදී මෝටර්රථ ආනායනයෙන් පමණක් රුපියල් බිලියන 450ක් අපි බලාපොරොත්තු වෙනවා. මේ 450ත් එක්ක එකතු උනාම තමයි සමස්ථ ඉලක්කය වන රුපියල් බිලියන 2,115 හැදිලා තියෙන්නේ."