ඉතිහාසයේ ප්‍රථම වරට ඒකක 19,000 සීමාවෙන් ඔබ්බට ගොස් කොටස් වෙළඳපොළ නතර වෙයි

    July, 21, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ, සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වුණු ඉහළම අගයේ වාර්තාව අද (21) නැවත වතාවක් අලුත් කරමින් දිනයේ ගනුදෙනු අවසාන වන විට එය ඒකක 19,000 සීමාව පසු කිරීමට සමත්ව තිබුණි.

    නමුත් අද කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ මිල දර්ශක වල දක්නට ලැබුණේ මිශ්‍ර හැසිරීමකි.

    එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 70.38කින් ඉහළ ගොස් ඒකක 19,044.08ක් ලෙසින් සටහන් වූ අතර S&P SL 20 මිල දර්ශකය ඒකක 8.44කින් පහළ ගොස් ඒකක 5,646.99ක් ලෙසින් සටහන් විය.

    අද සමාගම් 118ක කොටස් මිල ගණන් සියලු කොටස් මිල දර්ශකයේ හැසරීමට ධනාත්මක දායකත්වයක් ලබා දී තිබූ අතර සමාගම් 106කින් ඒ සඳහා ලැබී තිබුනේ සෘණාත්මක දායකත්වයකි.

    එහි දී DFCC බැංකුව, සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, කෝපරේටිව් ඉන්ෂූවරන්ස් කම්පැනි, CT හෝල්ඩිංග්ස් සහ ලංකා රියලිටි ඉන්වෙස්ට්මන්ට්ස් යන සමාගම් සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට ඉහළ ධනාත්මක දායකත්වයක් ලබා දී තිබුණි.

    අද ගණුදෙනු පිරිවැටුම දැක්වුනේ රුපියල් බිලියන 5.39ක් ලෙසයි.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 5.32ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.19 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    මේ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 70ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 191ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.