උපාධිධාරින්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව ලබාගැනීමට අවස්ථාවක්

    April, 29, 2025

    ශ්‍රී ලාංකීය උපාධිධාරි සිසුන් සඳහා පශ්චාත් උපාධි ශිෂ්‍යත්ව අවස්ථා ලබා ගැනීම ඇතුළු උසස් අධ්‍යාපනික සහයෝගිතාවන් ඇති කර ගැනීම උදෙසා, ගෝලීය විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ප්‍රමුඛ ස්ථානයක පසුවන සිංගප්පූරු ජනරජයේ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලය හා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා කර තිබේ.

    යෝජිත අවබෝධතා ගිවිසුමට එළඹීම මඟින් ශ්‍රී ලාංකීය සිසුන්ට සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි ඇතුළුව පශ්චාත් උපාධි හැදැරීමටත්, ධාරිතා සංවර්ධන වැඩසටහන් සඳහා සහභාගි වීමටත්, ඒකාබද්ධ පර්යේෂණ සිදු කිරීමටත් අවස්ථාව හිමි වනු ඇත.
    එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.