එක්ස්පෝලංකා කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 20 අතරට

    October, 12, 2020

    2020 මාර්තු 20 දින කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු නතර කිරීමෙන් පසු එය නැවත විවෘත වූයේ සති 7කට පසු 2020 මැයි 11 වන දිනය. කෙසේ වෙතත් එදින සිදුවූ මිල දර්ශකවල සීඝ්‍ර කඩා වැටීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ විවෘත වූ වහාම වසා දැමීමට සිදුවිය.

    මේ අතර කොටස් වෙළෙඳපොළේ විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහයක් වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් මිල 2020 මැයි 13 දින වන විට රු. 1.80 ක් දක්වා පහත බැස තිබුණේ සමස්ත වෙළෙඳපොළ කඩා වැටීම හේතුවෙන් කොටස් මිල සීඝ්‍රයෙන් පහළ වැටුණු සමාගම් අතර තවත් ගොදුරක් වෙමිනි.

    කෙසේ වෙතත් එදින සිට අද (12) දින දක්වා මාස 05 ක කාලයක් තුළ දී එක්ස්‍පෝලංකා හෝලඩිංග්ස්, කොළඹ කොටස් වෙළෙඳපොළේ දැවැන්තම කොටස් මිල වර්ධනය පෙන්වන ලද සමාගම බවට පත්ව සිටින්නේ 800%ක් ඉක්මවූ කොටස් මිල වර්ධනයක් වාර්තා කරමිනි.

    අද (12) දිනය අවසානයේ දී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටසක අවසන් ගනුදෙනු මිල ර. 16.70 ක් විය.

    මේ අනුව වෙළෙඳපොළෙ ප්‍රාග්ධනීකරණය අතින් කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගම් අතර 20 වන තැන දක්වා පැමිණීමට එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් මේ වන විට සමත්ව ඇත.

    කොවිඩ්-19 වසංගත තත්ත්වය, බොහෝ සමාගම්වල අලාභදායීත්වයට හේතු වුවද, එය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් වෙත ධනාත්මක බලපෑමක් කර ඇති බව පැහැදිලි වන්නේ 2020 ජූනි 30 න් අවසන් කාර්තුවේ සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිරික්සීමේ දීය. අදාළ කාර්තුව තුළ දී සමාගමේ ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශනයට අනුව, පෙර වසරේ අදාළ කාර්තුව හා සැසඳීමේ දී බදුගෙවීමෙන් පසු සමාගමේ ලාභය  රු.  මිලියන 299 සිට රු. බිලියන 1.75 ක් දක්වා 486% ක දැවැන්ත වර්ධනයක් සනිටුහන් කර තිබේ.

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව මෙරට ලැයිස්තුගත විශාලතම සමාගම් 25 ඉහත වගුවෙන් දැක්වෙන අතර 2020 ජූනි 30න් අවසන් මූල්‍ය කාර්තුව වෙනුවෙන් වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි ඒකාබද්ධ මූල්‍ය ප්‍රකාශය පහතින් දැක්වේ.