කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යවරයා, ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීම පිණිස ඕමානයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා පවත්වයි

    July, 20, 2021

    මැද පෙරදිග සමඟ ආර්ථික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා වන කලාපීය සහයෝගීතා අමාත්‍යාංශයේ වරම අනුව, 2021 ජූලි 14 වැනි දින ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කයිස් බින් මොහොමඩ් අල් යූසෙෆ් මහතා සමඟ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා අතථ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

    මෙම සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍ය බාලසූරිය මහතා කොළඹ වරාය නගරය සහ එහි විශේෂ ආර්ථික කලාපය මඟින් ජනනය කරන වෙළඳ හා ආයෝජන අවස්ථා පිළිබඳව ඉස්මතු කළේය. ඖෂධ, සංචාරක කටයුතු, පුනර්ජනනීය බලශක්තිය, ආහාර හා තොරතුරු තාක්‍ෂණය වැනි අනෙකුත් අංශවල පවතින ආයෝජන හැකියාව පිළිබඳව ද එතුමා විස්තර කළේය. විදේශ රැකියා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන්, පුහුණුව ලත් ශ්‍රී ලාංකික සෞඛ්‍ය සේවකයින් හට ඕමානයේ සේවය කිරීම සඳහා පවතින අවස්ථාව පිළිබඳව ද රාජ්‍ය අමාත්‍යවරයා ගවේෂණය කළේය.

    ආයෝජන සහ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා ඕමානයේ මුලපිරීම් ඉස්මතු කරමින්, ඕමානය ඔවුන්ගේ නිදහස් වෙළඳ ගිවිසුම් හරහා අප්‍රිකාව, මැදපෙරදිග සහ ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණ කේන්ද්‍රස්ථානයක් සහ දොරටුවක් වන බව අමාත්‍ය අල් යූසෙෆ් මහතා අවධාරණය කළේය. ඕමානය යළි අපනයනය සඳහා කේන්ද්‍රස්ථානයක් ලෙස යොදා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට මෙයින් මංපෙත් විවර කරන බව එතුමා පැවසීය. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ ශ්‍රී ලාංකික පුහුණු ශ්‍රමිකයින් සේවයේ යෙදවීමේ අපේක්ෂාව පිළිබඳව සොයා බැලීමට ද අමාත්‍යවරයා පොරොන්දු විය.

    දෙරටේ ජාතික වාණිජ මණ්ඩල අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සහ කොළඹ වරාය සහ සොහාර් වරාය අතර සෘජු බහාලුම් සේවාවක් ඇති කිරීම සඳහා දෙරටේ අදාළ බලධාරීන් අතර පවතින සාකච්ඡාව අමාත්‍යවරුන් දෙදෙනාම පිළිගත්හ.

    ඕමාන සුල්තාන් රාජ්‍යයේ තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා, ශ්‍රී ලංකාවෙන් කෙරෙන වැඩි දියුණු කරන ලද අපනයන ඇතුළුව, වර්ධනය වෙමින් පවතින ද්විපාර්ශ්වික වෙළඳාමේ ජවය සහ දෙරට අතර ආයෝජන පිළිබඳව විස්තර කළේය.

    ඕමාන් සුල්තාන් රාජ්‍යයේ වාණිජ, කර්මාන්ත හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ උප ලේකම් අසිලා බින් සලීම් අල් සම්සමියා මහත්මිය සහ අමාත්‍යවරයාගේ උපදේශකවරු ඕමානි පාර්ශ්වයෙන් සහභාගී වූහ. කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ඒ. සේනානායක මහතා, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මැතිතුමා සහ කලාපීය සහයෝගීතා රාජ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සාවිත්‍රි පානබොක්කේ මහත්මිය රාජ්‍ය අමාත්‍යවරයා සමඟ එක්ව සිටියහ.