කොටස් වෙළෙඳපොළට අද හොඳ දවසක්

    April, 25, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (25) දිනයේ දී කැපීපෙනෙන වර්ධනයක් දැකගත හැකි විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 126.41කින් ඉහළ ගොස් දිනගේ ගනුදෙනු අවසානයේ දී ඒකක 15,742.04ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 38.89කින් ඉහළ ගොස් ඒකක 4,643.60 ක් ලෙසින් වාර්තා විය.

    දිනය තුළ දැකිය හැකි වූ තවත් සුවිශේෂී තත්ත්වයක් වූයේ පසුගිය දින කිහිපයට සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වීමයි. අද දිනය තුළ රු. බිලියන 2.43ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.

    ප්‍රධාන වශයෙන් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සිදු වූ කොටස් මිලියන 8ක ගිවිසාගනු ලැබූ ගනුදෙනු කිහිපයක් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණු අතර එහිදී රු. 20.00 සහ රු. 20.10 බැගින් අදාළ කොටස් හුවමාරු සිදුවී තිබුණි. එම ගනුදෙනු හරහා වාර්තා වී තිබුණු පිරිවැටුම රු. මිලියන 160.20 කි. මීට අමතරව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි සාමාන්‍ය දෛනික ගනුදෙනු හරහා රු. මිලියන 123.76 ක් අද දිනයේ දී දෛනික පිරිවැටුමට එකතු වී තිබිණ.

    මේ අතර සන්ෂයින් හෝල්ඩිංග්ස් රු. මිලියන 177ක්, ස්විස්ටෙක් සිලෝන් රු. මිලියන 116ක්, ඇක්සෙස් ඉංජිනියරින් හා අගරපතන වැවිලි සමාගම රු. මිලියන 100 බැගින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දුන් සෙසු සමාගම් විය.

    කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවන්ට අනුව අද දිනයේ ද සමාගම් 141ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණු අතර ඒ අතුරින් LOLC හෝල්ඩිංග්ස්, රෝයල් සෙරමික්ස්, NDB, සන්ෂයින් හෝල්ඩිංග්ස් සහ මෙල්ස්ටාකෝප් යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.