කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රු. බිලියන 5 ඉක්මවයි. සියලු කොටස් ඒකක 8,500 යි

    August, 9, 2022

    අද (09) දිනයේ දී කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු අවසානයේ දෛනික පිරිවැටුම රු. බිලියන 5 සීමාව ඉක්මවා ගිය අතර එය දැක්වුනේ රු. බිලියන 5.34ක් ලෙසයි. එහිදී රු. බිලියන 1.99 ක් ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනු හරහා පමණක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

    මීට අමතරව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 449.71 ක් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 252.86 ක් ලෙසින් ඉහළ පිරිවැටුමක් වාර්තා කළ සෙසු සමාගම් අතුරින් කැපී පෙනුණි.

    මේ අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 77.03 කින් ඉහළ ගොස් ඒකක 8,500.00 ක් හා S&P SL20 දර්ශකය ඒකක 9.73 කින් ඉහළ ගොස් ඒකක 2,803.88 ක් ලෙස වාර්තා විය. මෙය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 0.91% ක හා 0.35% ක වර්ධනයකි.

    මේ අතර අද දිනයේ දී සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් ලෙස එයිට්කන් ස්පෙන්ස්, ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස්, ලංකා IOC, CIC හා කොමර්ෂල් බැංකුව යන සමාගම් කැපී පෙනුණි.

    මිල දර්ශක ඉහළ යාම සඳහා සමාගම් 104 ක්ම ධනාත්මක දායකත්වයක් ලබා දෙන ලදී.

    අද දින පිරිවැටුමෙන් රු. බිලියන 5.14 ක් දේශීය මිල දී ගැනීම් ලෙසත්, රු. බිලියන 5.22 ක් දේශීය විකිණුම් ලෙසත් වාර්තා වූ අතර රු. මිලියන 195.42 ක විදේශීය මිල දී ගැනීම් හා රු. මිලියන 121.17 ක විදේශීය විකිණුම් වාර්තා වී තිබුණි.

    මේ අතර වටවල වැවිලි සමාගමේ කොටස් මිලියන 4.64 ක් ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් (Crossing) ලෙසින් අද දින හුවමාරු වූ අතර සමාගමේ නවතම මූල්‍ය ප්‍රකාශනවලට අනුව එම කොටස් ප්‍රමාණය වටවල වැවිලි සමාගමේ තෙවැනියාට විශාලතම කොටස් හිමියා වූ ආචාර්ය ටී. සෙන්තිල්වේල් ගේ නම ඉදිරියෙන් ලියැවී තිබිණ.

    මීට අමතරව CDB, කොමර්ෂල් බැංකුව හා HUNAS HOLDINGS යන සමාගම්වලින් ද ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනු අද දින වාර්තා විය.