කොමර්ෂල් බැංකුව හයවන වරටත් ‘අරුණලු සිත්තම්’ චිත්‍ර තරඟය දියත් කරයි

    August, 4, 2025

    දරුවන්ට සිය නිර්මාණශීලී දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව උදා කරමින් කොමර්ෂල් බැංකුව ‘අරුණලු සිත්තම් 2025’ ළමා චිත්‍ර තරඟය online මාර්ගයෙන් පවත්වන බව නිවේදනය කර ඇත.

    හයවන වරට පවත්වන මෙම චිත්‍ර තරඟය දීප ව්‍යාප්තව සහ ජාත්‍යන්තර වශයෙන් ඩිජිටල් ආකාරයෙන් මෙහෙයවන අතර වයස අවුරුදු 4 ත් 16 ත් අතර දරුවන්ට ඔවුන්ගේ නිර්මාණශීලිත්වය සඳහා රුපියල් මිලියන 4.8 කට අධික මුදල් ත්‍යාග සහ සහතිකපත් දිනා ගැනීම සඳහා අවස්ථාව ලබා දෙයි.

    ශ්‍රී ලංකාවේ ජීවත්වන දරුවන්ට මෙන්ම විදේශයන්හි පදිංචි ශ්‍රී ලාංකික දරුවන්ටද 2025 අරුණලු සිත්තම් චිත්‍ර තරඟය විවෘතව ඇත. පෙර වසරවල මෙන්, තරඟය සම්පූර්ණයෙන්ම මාර්ගගතව පවත්වනු ලැබේ. 2025 අගෝස්තු 31 වන දින හෝ ඊට පෙර www.arunalusiththam.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් චිත්‍රයේ ස්කෑන් කළ පිටපතක් අදාළ විස්තර සමග අප්ලෝඩ් කිරීමෙන් තරඟකරුවන්ට තම චිත්‍ර ඉදිරිපත් කළ හැක.

    සහභාගීවන්නන්ට අවුරුදු 4-5, 6-7, 8-10, 11-13 සහ 14-16 යන වයස් කාණ්ඩ යටතේ ඔවුන්ගේ චිත්‍ර නිර්මාණ ඉදිරිපත් කළ හැකිය. කොමර්ෂල් බැංකුවේ ගිණුම්හිමියෙකු නොවුනද මෙම වයස් කාණ්ඩයන්හි ඕනෑම දරුවෙකුට මෙම තරඟය සඳහා සහභාගි වීමට අවස්ථාව පවතී. දේශිය අංශයේ ජයග්‍රාහකයින් පළමුව පළාත් මට්ටමින් තෝරා ගනු ලබන අතර, පසුව ඔවුන් අතරින් ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් තෝරා ගැනීමට නියමිතය.

    සෑම වයස් කාණ්ඩයකම ජාතික මට්ටමේ ජයග්‍රාහකයින්ට පළමු, දෙවන සහ තෙවන ස්ථාන සඳහා පිළිවෙලින් රුපියල් 100,000, රුපියල් 75,000 සහ රුපියල් 50,000 බැගින් මුදල් ත්‍යාග හිමිවන අතර, පළාත් නවයේ සෑම වයස් කාණ්ඩයකම ඉහළම ජයග්‍රාහකයින් තිදෙනාට රුපියල් 25,000, රුපියල් 15,000 සහ රුපියල් 10,000 බැගින් ප්‍රදානය කෙරේ. සෑම පළාතකම 4 වන ස්ථානයේ සිට 10 වන ස්ථානය දක්වා කලාකරුවන් සිය ගණනකට කුසලතා සහතිකපත් ප්‍රදානය කෙරෙනු ඇත.

    මෙම තරඟය සඳහා සහභාගීත්වය දිරිමත් කරන පාසල් ඇගයීමට ලක් කරමින් වැඩිම අයදුම්පත් සංඛ්‍යාවක් ඉදිරිපත් කරන සෑම දිස්ත්‍රික්කයකම පාසලක් සඳහා රුපියල් 50,000 බැගින් ප්‍රදානය කෙරෙනුයේ සමස්තයක් වශයෙන් රුපියල් මිලියන 1.25 ක් වැය කරමිනි.

    විදේශීය අංශයේ සෑම වයස් කාණ්ඩයකින්ම එක් ජයග්‍රාහකයෙකුට රු. 50,000 බැගින් මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ.

    මුදල් ත්‍යාග දිනා ගන්නා කොමර්ෂල් බැංකුවේ ‘අරුණලු’ හෝ ‘ඉසුරු’ ළමා ගිණුම් හිමියන්ට සුවිශේෂී අමතර ත්‍යාග රැසක් දිනා ගැනීමට හැකි වනු ඇත.

    සියලු‍ම චිත්‍ර ප්‍රවීණ විනිසුරු මණ්ඩලයක් හරහා ඇගයීමට ලක් කරනු ලබයි. චිත්‍ර තරඟයේ අරමුණ වන්නේ දරුවන්ට ප්‍රතිලාභ ලබාදීම පමණක් නොව නිදහසේ සිය අදහස් ප්‍රකාශ කිරීමට සහ ඔවුන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනයට පෙළඹවීමක් ඇති කිරීම බව බැංකුව පවසයි.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ Tier I බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.