කොළඹ – සිංගප්පූරුව අඩුම මිලට ගිය ගුවන් ගමන නවතී

    June, 11, 2025

    ලොව ප්‍රධාන පෙළේ මිල අඩු ගුවන් සේවයක් (Budget Airline) ලෙසින් සැලකෙන Jetstar සිය ආසියානු කලාපයේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බව නිවේදනය කර සිටී.

    ඔස්ට්‍රේලියාවේ Qantas සමූහයට අනුබද්ධිත ගුවන් සේවාවක් වන මෙය, සිය ආසියානු මෙහෙයුම් තුළින් අලාභදායීත්වයක් වාර්තා කිරීම මෙම තීරණයට හේතු වී තිබේ. ගුවන්තොටුපළ ගාස්තු ඉහළ යාම, ඉන්ධන පිරිවැය ඉහළ යාම ආදී කරුණු හේතුවෙන් එම සමාගමට අලාභ ලැබීමට සිදුව ඇති බව සඳහන් අතර මෙම තීරණයක් සමඟින් 500 දෙනෙකුට පමණ රැකියා අහිමිවීමක් සිදුවිය හැකි බවට වැඩිදුරටත් වාර්තා වේ.

    ඒ අනුව Jetstar Asia හි කටයුතු ඈවර කිරීමෙන් පසු ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සිය ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා උපාය මාර්ගික වශයෙන් පියවර ගැනීමට එම සමාගම තීරණය කර ඇත.

    Jetstar Asia ආසියානු කලාපය තුළ සිංගප්පූරුව පදනම් කරගනිමින් මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, චීනය, ශ්‍රී ලංකාව හා ජපානය වෙත සිය සේවාවන් පැවැත්වීය.

    මෙය කොළඹ සහ සිංගප්පූරුව අතර ගමන් කිරීමට තිබූ මිල අඩුව ගුවන් සේවය වන අතර ඔවුන් සිය ආසියානු කලාපයේ මෙහෙයුම් නවතාලීමට ගෙන ඇති ඉහත කී තීරණයත් සමඟින් 2025 ජූලි 31 සිට එම ගුවන් ගමන ද එලෙස නිමාවට පත්වනු ඇත.