ගුවන් යානා ප්‍රමාදයෙන් පෙරේදා කොරියාවේ රැකියාවට යාමට සිටි 100ක් තවමත් ලංකාවේ

    March, 21, 2024

    2024 මාර්තු 19 වන දින දකුණු කොරියාවේ ඉන්චියොන් (Incheon)  වෙත යාමට සූදානම්ව සිටි මගීන් 217 දෙනෙකු රැගත් UL 470 අංක දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට පිටත් වීමට නොහැකි වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ගුවන් යානය ප්‍රමාද වී පිටත්වීම සඳහා අවසර ලබා ගැනීමෙන් පසු, 2024 මාර්තු 20 වන දින උදෑසන පැය 07:23 ට දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත මගීන් 117 දෙනෙකු සමග පිටත් විය.

    කොරියාවේ මානව සම්පත් සංවර්ධන සේවය (HRD Korea) සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සම්බන්ධීකරණයෙන් පසු රැකියා සඳහා දකුණු කොරියාවට යෑමට සිටි ඉතිරි මගීන් 100 දෙනා 2024 මාර්තු 24 ඉරිදා දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත රැගෙන යෑමට ශ්‍රීලංකන් ගුවන් සේවය පහසුකම් සලසා තිබේ. සිදුවූ ප්‍රමාදය දකුණු කොරියාවේ ඔවුන්ගේ රැකියාවලට බලපෑමක් ඇති නොකරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ගුවන් යානය ප්‍රමාද වීම නිසා අපහසුතාවයට පත් වූ සිය ගුවන් මගීන් වෙත ශ්‍රීලංකන් ගුවන් සේවය සිය කනගාටුව පළ කරයි. නිරන්තරයෙන් මගීන්ට සුවපහසු සංචාරක අත්දැකීමක් ලබාදීමට ගුවන් සමාගම දැඩි ලෙස කැපවී සිටී. ඒමෙන්ම, විදෙස් රැකියා සඳහා පිටත්ව යන මගීන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළ අගයක් ගන්නා ගනුදෙනුකරුවන් වන අතර මෙවැනි සිදුවීම් නැවත ඇතිවීම වළක්වා ගැනීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය කඩිනමින් පියවර ගනිමින් සිටී.