ගෝලීය මට්ටමේ පිළිකා ප්‍රතිකාර සේවා සැපයීමට ආසිරි රෝහල් සමූහය අමෙරිකානු පිළිකා ආයතනය හා එක්වෙයි

    April, 20, 2017

    ශ්‍රී ලංකාවට ලොව උසස්ම සෞඛ්‍ය සේවා රැගෙන ඒමේ අදහස පෙරදැරිව ආසිරි රෝහල් සමූහය, අමෙරිකාව පදනම් කරගත් පිළිකා ප්‍රතිකාර සේවා ජාත්‍යන්තර ආයතනයේ ජාත්‍යන්තර අංශයවන අමෙරිකානු පිළිකා ආයතනය හා සහයෝගීත්වයෙන් මෙරට පෞද්ගලික අංශයේ පළමු අංග සම්පූර්ණ පිළිකා සුව සේවා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.

    ආසිරි සර්ජිකල් රෝහල් පරිශ්‍රයේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානය මගින් පිළිකා නිවාරණ ඖෂධ, පිළිකා නිවාරණ සැත්කම් හා අති නවීන පිළිකා නිවාරණ විකිරණ චිකිත්සා යන සියලු ප්‍රතිකාර නවීන රේඛීය ත්වරකයක් භාවිතයෙන් සිදුකරනු ලැබේ. රෝහල විසින් මේ වනවිට පිළිකා නිවාරණ ඖෂධ සහ සැත්කම් හා සමගාමීව PET ස්කෑන් සේවා ද සපයනු ලබයි.

    අමෙරිකා එක්සත් ජනපදයේ පිට්ස්බර්ග්හි පිහිටි පිළිකා ප්‍රතිකාර සේවා ජාත්‍යන්තර ආයතනය වනාහි පිට්ස්බර්ග් විශ්ව විද්‍යාලයට අනුබද්ධ පිළිකා රෝග විශේෂඥයින් කණ්ඩායමක් විසින් ආරම්භ කරන ලද්දකි. ආරම්භයේ පටන් මේ දක්වා එක්සත් ජනපදය තුළ පිළිකා රෝග නිවාරණ සේවාවේ ප්‍රමුඛයා බවට පත්ව ඇත්තේ ද එම ආයතනයයි.

    2012දී අමෙරිකානු පිළිකා ආයතනය තම පළමු ජාත්‍යන්තර මධ්‍යස්ථානය ඉන්දියාවේ හයිද්‍රාබාද්හි දී විවෘත කරනු ලැබූ අතර එතැන් පටන් එවැනි මධ්‍යස්ථාන ජාලයක් කලාපය තුළ පිහිටුවන ලද්දේ ඒ සෑම මධ්‍යස්ථානයකදීම පිළිකා රෝග නිවාරණය සඳහා වන අමෙරිකානු විශ්ව විද්‍යාලයීය ප්‍රමිතිගත භාවිතාවන් අනුකූල කරගනිමිනි.

    ශ්‍රී ලංකාව තුළ ද මේ වනවිට පිළිකා ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකාව තුළ වාර්තා වන පිළිකා රෝගීන් ප්‍රමාණය වාර්ෂිකව ඉහළ යමින් පවතින අතර 2008 වසරේදී 11,163ක් වූ එම රෝගී සංඛ්‍යාව 2015 වනවිට 13,890ක් දක්වා වර්ධනය වී තිබේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පිරිමි පාර්ශ්වය අතර මුඛ පිළිකා ද කාන්තා පාර්ශ්වය අතර පියයුරු පිළිකා ද ඇතිවීමේ වැඩි අවදානමක් පවතින අතර සෑම ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකුගෙන්ම එක් අයකු තුළ පිළිකා ඇතිවීමේ අවදානමක් පවතින බව අනාවරණය කරගෙන තිබේ. ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝගය වළක්වාගැනීමේ හා පාලනය කිරීමේ අරමුණින් ජාතික පිළිකා පාලන වැඩසටහනක් ද ආරම්භ කර ඇත.

    “ශ්‍රී ලංකාව තුළ පිළිකා රෝග නිවාරණය සඳහා විස්තීර්ණ සුව සේවා ප්‍රවේශය දියුණු කිරීමට ප්‍රමුඛතාවක් ලැබිය යුතුයි. එහිදී වැඩි අවධානයක් විකිරණ ප්‍රතිකාර ක්‍රමය කෙරෙහි යොමුවෙනවා. ආසිරි රෝහල් සමූහය හා අමෙරිකානු පිළිකා ආයතනයේ මෙම සහයෝගීතාව සමඟ පිළිකා රෝගීන් වෙත වඩා හොඳ සේවාවක් සැපයීම සඳහා වන තාක්ෂණය හා ප්‍රමිතිගත භාවිතාවන් අපගේ සායනික කාර්ය මණ්ඩලයට ලබාදීම සිදුවෙනවා” යනුවෙන් ආසිරි රෝහල් සමූහයේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසීය.

    අමෙරිකානු පිළිකා ආයතනය භාවිත කරන්නේ, ප්‍රමිතිගතවූත් ප්‍රතිඵල මත පදනම් වූත් සායනික ක්‍රමවේද හා ශක්තිමත් මෙහෙයුම් ක්‍රියාවලියක් සහිත මධ්‍යගත කළමනාකරණ මාදිලියකි. ඒ හරහා නිරන්තරයෙන්ම රෝගියා කේන්ද්‍ර කරගනිමින් සායනික තීරණ ගැනීම් සිදුවේ. එම ආයතනය මගින් ප්‍රතිකාරයට බඳුන් කරන සියලු රෝගීන් ලොව හොඳම පිළිකා රෝග විශේෂඥයින්ගේ පර්යේෂණ හා අත්දැකීම් ඇසුරෙන් ප්‍රතිලාභ ලබන බව ද මෙසේ නවීනතම පිළිකා නිවාරණ ක්‍රමවේද සහිත ඒකීය ප්‍රතිකාර භාවිතාවන් තුළින් පිළිබිඹු වන්නකි.

    අමෙරිකානු පිළිකා ආයතනය මගින් ජාත්‍යන්තර පිළිකා මණ්ඩලයේ ද පරිපාලන කටයුතු සිදුවේ. එම මණ්ඩලය හරහා අවශ්‍ය විටදී ආසිරි රෝහල් සමූහයේ පිළිකා රෝග විශේෂඥයින්ට හා පිළිකා ශෛල්‍ය වෛද්‍යවරුන්ට එක්සත් ජනපදයේ පිහිටි තම විද්‍යාල ඔස්සේ දැනුම ලබාගැනීමේ අවස්ථා ද හිමිකර දී තිබේ.

    මෙම නව සහයෝගීතාව පිළිබඳ අදහස් දක්වමින් අමෙරිකානු පිළිකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජෝසප් නිකොලස් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ ජනතාව වෙත අමෙරිකානු ප්‍රමිතිය රැගත් ලෝක මට්ටමේ පිළිකා සුව සේවා සැලසීමේ අපේ දැක්ම කෙරෙහි ආසිරි රෝහල් සමූහය හා සිදුවූ මේ අත්වැල් බැඳගැනීම සුවිශේෂ දායකත්වයක් සපයනවා. පිළිකා රෝග සම්බන්ධයෙන් නිරන්තරයෙන් සිදුකෙරෙන පර්යේෂණ හා හඳුන්වාදෙන නව ප්‍රතිකාර මාදිලි සමඟ අඛණ්ඩව යාවත්කාලීන වන දැනුම් ගබඩාවක් අමෙරිකානු පිළිකා ආයතනය සතුයි. මේ සියලු ප්‍රතිලාභ දැන් ආසිරි රෝහල්වලදී ප්‍රතිකාර ලබන රෝගීන්ට හිමිවෙනවා”.

    ශ්‍රී ලංකාවේ සුව සේවා ක්ෂේත්‍රය තුළ වසර 30කට වැඩි විශිෂ්ටත්වයක් පෙන්නුම් කර ඇති ආසිරි රෝහල් සමූහය විසින් විවිධ විශේෂතා සහිත රෝහල් රැසක් මෙන්ම රෝග විනිශ්චය සේවා ජාලයක් ද පවත්වාගෙන යනු ලබයි. වෛද්‍ය විද්‍යාව තුළ නිරන්තරයෙන් සිදුවන තාක්ෂණික වැඩිදියුණුවීම් හා නව වර්ධනයන් ශ්‍රී ලාංකිකයින්ටද තම මව් රටේදීම ලැබීමේ අවස්ථාව සැලසීමට ආසිරි සමූහය කටයුතු සලසයි.

    එම සමූහයට අයත් ආසිරි සෙන්ට්‍රල් රෝහල මෑතකදී ගුණාත්මක සෞඛ්‍ය සේවා සැපයුම වෙනුවෙන් ලැබෙන Joint Commission International (JCI) සහතිකයෙන් ද පිදුම් ලැබීය.