ජනපති සහ එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා අතර හමුවක්

    February, 23, 2024

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය.

    ශ්‍රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන පියවර මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ගේ ඇගයීමට ලක් විය.

    කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කළේය.

    ගෝලීය ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් වූ අතර රතු මුහුදේ සිදු කෙරෙන නාවික මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සහය වෙනුවෙන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තූතිය පළ කර සිටියේය.

    හුති කැරලිකරුවන් සම්බන්ධයෙන් සෞදි අරාබියේ ස්ථාවරත්වයට සහාය පළ කරමින් ඉන්දීය සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් කැපවී සිටින බව මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් යූ.එල්.එම්. ජොහාර්, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඇමෙරිකා අංශයේ අධ්‍යක්ෂ චතුර පෙරේරා යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.