ජනවාර්ගික නොසන්සුන්තා ව්‍යාපාර ක්‍රියාකාරකම්වලට බලපාලා

    April, 17, 2018

    සේවා අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය, 2018 පෙබරවාරි මාසයේ දී වාර්තා වූ 58.4ක දර්ශක අගයට සාපේක්ෂ ව මාර්තු මාසයේ දී 58.0ක දර්ශක අගයක් වාර්තා කළේ ය. නව ව්‍යාපාර, ව්‍යාපාර ක්‍රියාකාරකම්, සේවා නියුක්තිය සහ අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම් යන උප දර්ශකවල දායකත්වයෙන් 2018 මාර්තු මාසයේ දී සේවා අංශය, අඩු වේගයකින් වුව ද, වර්ධනය වූ බව මෙ මගින් පෙන්නුම් කෙරෙයි. මුල්‍ය සේවා, රක්ෂණ සහ තොග සහ සිල්ලර වෙළඳාම යන අංශවල නව ව්‍යාපාර වර්ධනය ඉහළ මට්ටමක පැවැති බව දක්නට ලැබිණි.

    සාමාන්‍යයෙන් පෙබරවාරි මාසයට සාපේක්ෂ ව මාර්තු මාසයේ දී ව්‍යාපාර ක්‍රියාකාරකම්වල සෘතුමය ඉහළ යෑමක් දක්නට ලැබුණ ද ව්‍යාපාර ක්‍රියාකාරකම් අඩු වේගයකින් වර්ධනය වීම මෙ වර සමීක්ෂණයේ දක්නට ලැබුණු විශේෂ ප්‍රවණතාවකි. ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මෙම මධ්‍යස්ථ වර්ධනය විශේෂයෙන් ම නවාතැන් සහ ආහාරපාන සැපයීමේ සේවා, ප්‍රවාහන සහ තොග සහ සිල්ලර වෙළඳාම යන අංශවල දක්නට ලැබිණි.

    රටේ විවිධ ප්‍රදේශවල පැවති ජනවාර්ගික නොසන්සුන්තා 2018 මාර්තු මාසයේ දී ව්‍යාපාර ක්‍රියාකාරකම්වලට බල පෑ බව සමීක්ෂණයට ප්‍රතිචාර දක්වන්නන් ප්‍රකාශ කළේ ය. පෙර මාසයේ දී දක්නට ලැබුණු උපනතිය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යමින්, සේවා නියුක්තිය ඉහළ යෑම මධ්‍යයේ, 2018 මාර්තු මාසයේ දී නිම කිරීමට ඇති කාර්යයන් පහළ ගිය අතර අපේක්ෂිත ව්‍යාපාර ක්‍රියාකාරකම්වල මධ්‍යස්ථ වර්ධනයක් දක්නට ලැබිණි. ඉදිරි කාලයේ දී ඇති විය හැකි වැටුප් වර්ධන සහ උත්සව සමයේ ලබා දෙන දිරිදීමනා හේතුවෙන් අපේක්ෂිත ශ්‍රම පිරිවැය ඉහළ ගිය අතර, සේවා අංශයේ අය කරන මිල ගණන් අඩු වේගයකින් ඉහළ ගියේය.