ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය ඉදි කිරීමට මිල්කෝ අක්කර 03ක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට

    October, 21, 2020

    ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නව ගොඩනැගිලි සංකීර්ණය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය ඉදි කිරීම සහ ඊට යෝජිත ඉඩම අත්පත් කරගැනීම

    ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඖෂධ, වෛද්‍ය උපකරණ සහ සීමාස්ථ නිෂ්පාදන නියාමන කටයුතු මේ වන විට ඉතා සාර්ථකව පවත්වා ගෙන යන නමුත් තත්ත්ව පරීක්ෂණ පැවැත්වීම සඳහා ප්‍රමාණවත් පහසුකම් සහිත නවීන තාක්ෂණයෙන් යුත් පරීක්ෂණාගාරයක් නොමැති වීම එම අධිකාරියේ නියාමන කටයුතු වඩාත් ඵලදායී ලෙස ඉටු කිරීමට දැඩි බාධාවක් වශයෙන් හඳුනා ගෙන ඇත.

    එසේම, අධිකාරියේ කාර්යභාරය පුළුල් වීම හේතුවෙන් අලුතින් කාර්යමණ්ඩලය බඳවාගැනීමේ කටයුතු දැනට සිදුවෙමින් පවතින අතර, පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දැනට පවතින ඉඩකඩ ප්‍රමාණය කඩිනමින් පුළුල් කළ යුතුව ඇත.

    ඒ අනුව, තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරුළ ග්‍රාම නිලධාරි වසමේ පිහිටි මිල්කෝ ප්‍රයිව‍ට් ලිමිටඩ් ආයතනයට අයත් අක්කර 13ක ඉඩමෙන් අක්කර 03ක ප්‍රමාණයක් ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත අත්පත් කරගැනීමටත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සඳහා යෝජිත නව ගොඩනැඟිලි සංකීර්ණය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරය එම ඉඩමේ ඉදි කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.