ජූනි මාසයේ දී ඩොලර් මිලියන 950 ක අපනයන ආදායමක්. “යූ-ටර්න් නෙමෙයි වී-ටර්න් එකක්‘ – බැසිල් කියයි

    July, 8, 2020

    පසුගිය ජූනි මාසයේ දී ශ්‍රී ලංකාව එක්සත් ජනපද ඩොලර් මිලියන 950 ක අපනයන ආදායමක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක  බැසිල් රාජපක්ෂ මහතා පවසයි. අද (08) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,

    “අද වෙන කොට ජූනි මාසයේ අපනයන ප්‍රමාණය අවසන් දැනුම් දීම ලැබිලා තියෙනවා. ජූනි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 950 ක අපනයන කරන්න අපට හැකිවෙලා තිබෙනවා.“

    “මෙය ලොකු ජයග්‍රහණයක්. අප්‍රේල් මාසයේ දී මේක 250 ට බැහැලා තිබුණා.“

    “මේක යූ ටර්න් (U-turn) එකක් නෙමෙයි වී ටර්න් (V-turn) එකක් විදියට ඉතාම ඉහළ මට්ටමට පැමිණ තිබෙනවා.“

    රේගු දත්තවලට අනුව, 2020 මැයි මාසය සඳහා වෙළඳ අපනයනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 602 ක් උපයා ගෙන තිබූ අතර අප්‍රේල් මාසයේ දී  මෙය ඇ.ඩො.මි. 277.4 ක් දක්වා පහත වැටී තිබුණි.

    අපනයන සංවර්ධන මණ්ඩලයේ තාවකාලික ඇස්තමේන්තු අනුව ජූනි මාසයේ මෙම අගය ඩොලර් මිලියන 953 ක් ලෙස වාර්තා වේ.