ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ සෙලාන් බැංකුව වෙතින් VIMAN ජා ඇල නිවාස ගැනුම්කරුවන් හට සුවිශේෂී ණය යෝජනා ක්‍රම රැසක්

    May, 21, 2025

    VIMAN ජා ඇල නිවාස සංකීර්ණයෙහි නිවාස මිල දී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ගැනුම්කරුවන් හට විශේෂයෙන්ම සැකසුණු ණය යෝජනා ක්‍රම කිහිපයක් පිරිනැමීම සඳහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම බැංකුවක් වන සෙලාන් බැංකුව අත්වැල් බැඳ ගෙන තිබේ. මෙම සබඳතාව ඔස්සේ නිවසක් සොයන වෘත්තිකයින් සහ පවුල්වලට, ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන කොළඹට තදාසන්න පෙදෙසක් වන ජා ඇල නගර මධ්‍යයේ නිවසක් මිල දී ගැනීමේ හැකියාව වැඩි කිරීමට සමත් වනු ඇත.

    මෙම සහයෝගිතාව පිළිබඳ අදහස් දක්වමින් ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස්හි විකුණුම් හා අලෙවිකරණ අංශයේ ප්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහයේ උප සභාපති නඩීම් ශම්ස් මහතා ප්‍රකාශ කර සිටියේ, "අපගේ පාරිභෝගිකයින් හට ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑවක් කර ගැනීමට මූල්‍ය වශයෙන් සහයක් වීම සඳහා සෙලාන් බැංකුව සමග සබඳතාවක් ඇති කර ගැනීමට ලැබීම ගැන අප ඉතා සතුටට පත් වන්නෙමු. VIMAN ජා ඇල යනු තවත් එක් නිවාස සංකීර්ණයක් පමණක් නොවේ. එය ස්වභාව ධර්මය සහ නවීන තාක්ෂණය එකට මුසු කර තැනූ ව්‍යාපෘතියකි. මෙම සබඳතාව ශ්‍රී ලාංකිකයින් හට මනරම් නිවාසයකට මෙන්ම උසස් ජීවන රටාවකට ද හිමිකම් කීමට ඉඩ සලසා දෙනු ඇත."

    "සෙලාන් බැංකුව යනු ආරම්භයේ සිටම පාරිභෝගික කේන්ද්‍රීය බැංකු සේවාවක් ලබා දීම වෙනුවෙන් අඛණ්ඩව කැප වූ බැංකුවකි. මේ වන විටත් සෙලාන් බැංකුව විසින් විශාල නිවාස ණය පහසුකම් ප්‍රමාණයකට තම සේවාව සපයා ඇති නිසා, අප මෙම සබඳතාවට අවශ්‍ය දැනුම් පද්ධතියක් ද රැගෙන එන්නෙමු." සෙලාන් බැංකුවේ, බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉයුජින් සෙනෙවිරත්න මහතා තම අදහස් දක්වන ලදි. "සෙලාන් බැංකුව වශයෙන් අප විශ්වාස කරන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙකුටම තමන්ගේම කියා නිවසක් මිල දී ගැනීමට හැකි වීම අයිතියක් විය යුතු බවයි. ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමග අප ඇති කර ගත් සබඳතාවෙන් ද පිළිබිඹු වන්නේ එයයි."

    VIMAN ජා ඇල යනු අක්කර හයක භූමියක විහිදුණු සහ 60% කම විවෘත අවකාශවලින් පිරී ඇති සුවිශේෂී නිවාස සංකීර්ණයකි. එය දර්ශනීය ගෙවතු අලංකරණ සහ විවෘත අවකාශවලින් වට වූ නිවාස 418 කින් සමන්විත ය. ජා ඇල නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම නිවාස සංකීර්ණයේ සිට කොළඹ වරාය නගරය කරා යන අධිවේගී මාර්ගය ඔස්සේ ඉක්මනින්ම කොළඹ නගරය වෙත ළඟා විය හැකි ය. ඒ වගේම සංකීර්ණය අවට සුපිරි වෙළඳසැල්, බැංකු, රෝහල් සහ පාසල් වැනි පහසුකම් ද පිහිටා තිබේ.

    සුවතාව සහ යහ පැවැත්ම ප්‍රවර්ධනය වන ලෙස නිර්මාණය කෙරුණු මෙම සංකීර්ණය තුළ, ළමයින් සඳහා ක්‍රීඩා ස්ථානයක්, එළිමහන් ක්‍රීඩා පිටියක් සහ බයිසිකල්/ඇවිදින මං තීරුවක් ආදී වශයෙන් විවිධ විශේෂ ස්ථාන 15 ක් මෙහි පිහිටා ඇත. සූර්ය බලයෙන් බලගැන්වෙන නිවාස සහ හරිත පැහැයෙන් නැහැවුණු විවෘත අවකාශය ඇතුළු නවීනත්වය සහ ස්වාභාවිකත්වය එකට කැටි වුණු VIMAN ජා ඇල යනු ජීවත් වීම සඳහා උසස්ම තත්ත්වයේ ස්ථානයක් බව සහතික කළ හැකිය.

    මෙම සබඳතාව හරහා ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සහ සෙලාන් බැංකුව විසින් සෑම ශ්‍රී ලාංකිකයෙකුටම උසස් තත්ත්වයෙන් යුතු නිවසක් ලබා ගැනීමේ හැකියාව වැඩි කරනු ඇත.