August, 7, 2025
ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩොලරය වසරක කාලයක් ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාමට හැකි වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (07) පාර්ලිමේනතුවේ දී සිදු කළ විශේෂ ප්‍රකාශයක් අතරතුර ජනාධිපතිවරයා මේ බව පැවසීය.
මෙලෙස වසරකට ආසන්න කාලයක් පුරා රුපියල් 300ක් වැනි ස්ථාවර මට්ටමක ඩොලරය පවත්වා ගෙන යෑමට හැකි වීම මෙරට ආර්ථිකය තුළ වැදගත් සාධකයක් බවයි ජනපතිවරයා පෙන්වා දෙන්නේ.
"අපි ස්තූතිවන්ත වෙන්න ඕන, මහ බැංකුව ඇතුළු මුදල් අමාත්‍යාංශය සැලකිය යුතු ප්‍රමාණයකින් සමත් වෙලා තියනවා අවුරුද්දකට ආසන්න කාලයක් ඩොලරය රු. 300 සීමාවේ ආරක්ෂා කරගන්න. ඒක වැදගත් සාධකයක් නෙවෙයි ද?"
මින් පෙර ඩොලරය පිළිබඳ විශාල අවින්ශ්චිතතාවයක් පැවතිය ද මේ වන විට එම අවින්ශ්චිතතාවය නොමැති බව ද ජනපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ ය.
"නිදියගන්නකොට එක අගයක් නැගිටිනකොට එක අගයක්. මෙහෙම රටක් තිබුණේ. ඩොලරය පිළිබඳ විශාල අවිනිශ්චිතතාවයක් ඇති වුණා. ඒ අවිනිශ්චිතතාවයේ ප්‍රතිඵල බවට ලක්වුණේ මොකක්ද? රුපියල් 400ට ඩොලරය යයි කියලා සැකයක් ඇතිවුණා. විශාල කළු ආර්ථිකයක් නිර්මාණය වුණා. ඩොලර් වටිනාකම ඉහළ දැමීම, එක්රැස් කර ගැනීම, උන්ඩියල් මේ ආදි ඉතාමත් කළු ආර්ථිකයක් මේ විනිමයත් එක්ක ගොඩනැගුනා. අද ඒ කලු ආර්ථිකය කුඩා වෙමින් තියනවා. මම කියන්නෑ මුළු මුනින්ම අහෝසි වෙලා කියලා. හැබැයි කුඩා වෙලා තියනවා."
අද කිසිඳු කර්මාන්තකරුවෙක්, මූල්‍ය විශේෂඥයෙක්, මූල්‍ය පද්දතියට සම්බන්ධ වෙන කෙනෙක්, පුරවැසියෙක් ඩොලරය පිළිබඳ අවිනිශ්චිතතාවයක නැහැ. ඒක ආර්ථිකයේ වැදගත් සාධකයක්. ලංකාවේ පළවෙනි වතාවට අවුරුද්දකට ආසන්න කාලයක් ඩොලරය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යෑමට හැකි වී තිබෙනවා. ඒක වැදගත් සාධකයක්."
Video Story