ඩොලරය රු. 203 හිර කළේ මුදල් මණ්ඩලේ දෙන්නෙක් විරුද්ධ වෙද්දී

    May, 26, 2022

    පසුගිය කාලය තුළ විනිමය අනුපාතිකය ආයාසයකින් යුතුව රඳවා තබා ගැනීම නිසා විශාල මුදලක් අහිමිවීම පිළිබදව සමාජයේ පවතින මතය ගැන ඊයේ (25) කෝප් කමිටුවේ දී විමසා තිබේ.

    මේ පිළිබඳ බලය ඇත්තේ මුදල් මණ්ඩලයට බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසූ අතර එවකට මුදල් මණ්ඩල සාමාජිකාවක වූ ආචාර්ය රාණි ජයමහ මහත්මිය පැවසුවේ මහ බැංකු සංචිත යොදා ගනිමින් මෙම විනිමය අනුපාතය ආයාසයෙන් රඳවා තබා ගැනීමට දැඩි ලෙස විරුද්ධ වෙමින් තමා සහ හිටපු මුදල් මණ්ඩල සාමාජික සංජීව ජයවර්ධන මහතා එය ලිඛිතව දැනුම් දුන් බවයි.

    නමුත් මුදල් මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකුගේ මතය අනුව විනිමය අනුපාතිකය එකම අගයක රඳවා තබා ගැනීම සිදුවූ බවත් එවකට මහ බැංකු අධිපතිවරයා වූ මහාචාර්ය ඩබ්.ඩී ලක්ෂ්මන්, භාණ්ඩාගාරයේ එවකට හිටපු ලේකම්වරයා සහ පත්කරන ලද සාමාජික සමන්ත කුමාරසිංහ යන මහත්වරුන්ගේ අභිමතය පරිදි මෙය සිදුවූ බවද මෙහිදී අනාවරණය වී තිබේ.

    විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබද පරීක්ෂා කිරීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව කෝප් කමිටුව හමුවට ඊයේ (25) දින කැඳවනු ලැබීය.

    වත්මන් ආර්ථික අර්බුදය සදහා හේතු සාධක මෙන්ම ඊට අදාළව සිය වගකීම් පැහැර හරින ලද නිලධාරීන් ඇතුළු සියලු දෙනා සම්බන්ධව පරීක්ෂණය කිරීම සදහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා එහිදී නිර්දේශ කරන ලදී.

    ආර්ථිකය මෙහෙය වූ කිහිපදෙනෙකුගේ තීරණ නිසා මුළු මහත් රටක් අද සුවිසාල අර්බුදයකට පත්ව ඇති බැවින් අපරාධයක් සේ සලකා කඩිනමින් මේ පිළිබදව පරීක්ෂණය කළ යුතු බවත් කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය.