March, 14, 2024
ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය සන්නාමය ජාත්‍යන්තරයට රැගෙන ගිය ‘දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චේම්බර්ස්’ පසුගිය දා (2024 මාර්තු 12) ජංගම වෛද්‍ය සායනයක් ලෙස ‘දන්තජ ඔන් වීල්ස්’ නමින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්නයෙන් එළිදැක්වීම සිදුවිය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අති සුඛෝපභෝගී ජංගම බස් රථයක් තුළ සුව පහසු, ප්‍රතිකාර අසුන් දෙකක් සහිතව, ලොව නවීනතම තාක්ෂණය හා විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලයක අධීක්ෂණය හා මගපෙන්වීම අනුව මුඛ සෞඛ්‍ය සේවා ලබා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව දැන් උදාවී තිබේ.
අමාත්‍යංශ, සංස්ථා, අධිකාරි ඇතුළු රාජ්‍ය ආයතන, පුද්ගලික ආයතන, පුද්ගලික විශ්වවිද්‍යාල හා ජාත්‍යන්තර පාසල්, කර්මාන්ත ශාලා, ප්‍රදර්ශන භූමි ඉලක්ක කර ගනිමින් ‘දන්තජ ඔන් වීල්ස්’ ජංගම මුඛ සෞඛ්‍ය සේවා බස් රථය හෙට දවසේ ඔබේ නගරයට, ගමට, ආයතන පරිශ්‍රයට පැමිණෙනු ඇත.
මේ පිළිබඳ අදහස් දක්වමින් දන්තජ ප්‍රිමියම් ඩෙන්ටල් චේම්බර්ස්හි මෙන්ම ‘දන්තජ ඔන් වීල්ස්’ හි පුරෝගාමි විශෙෂඥ දන්ත වෛද්‍ය ලක්මාල් කුලසේකර මහතා මෙසේ පවසයි.
“අපි කරමින් සිටින්නේ හුදු දන්ත සායනයක් නෙවෙයි. හදිසි අනතුරු ආදියෙන් හෝ උපතින් පවා සිදුවිය හැකි යම් යම් විකෘතිතාවන් ඇතුළු ඔ්නෑම මුඛ සෞඛ්‍යයට අදාළ ප්‍රතිකාර හා සත්කාරක සේවා අපි කරනවා. එහිදී ලෝකයේ දැනට භාවිතා කෙරෙන ඉහළම තාක්ෂණය, නවීන වෛද්‍ය උපකරණ, සත්කාරක සේවා සමඟ විශේෂඥ පුහුණුව ලද කාර්ය මණ්ඩලය ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සේවාවක් සපයන්න බැඳී ඉන්නවා. සමහරවිට ලෝකයේ දියුණුම රටවලටත් වඩා වැඩි කාර්යක්ෂමතාවකින්.
‘දන්තජ ඔන් වීල්ස්’ කියන්නේ ලංකාවේ පළවෙනි වතාවට රෝගී සත්කාරය වෙනුවෙන් සුව පහසු ආසන දෙකක් සහිතව නිර්මාණය කරලා, නගරයෙන් නගරයට සංක්‍රමණය වන පළවෙනි දන්ත සෞඛ්‍ය සේවා බස් රථයයි. අපි අදාළ තැන්වලට ගිහින් උදේ ඉඳන් හවස් වෙනකල් සම්පූර්ණයෙන්ම ඒ අයගෙ දත් පරීක්ෂා කරලා, සියලුම ලෙඩ රෝග ගැන සම්පූර්ණ වෛද්‍ය වාර්තාවක් එදාම ලබාදෙනවා. එතකොට ඒ අයට තමන්ගෙ දත් සම්බන්ධව තියෙන ගැටලු මොනවද කියලා කල් තියාම හඳුනා ගන්න ලැබෙනවා. ඒ ප්‍රශ්නය ඔඩුදුවන්න කලින් අපි හරහා හෝ වෙනත් දන්ත සායනයක් හරහා හෝ ඊට ප්‍රතිකාර ලබාගැනීමට ඔවුන්ට හැකිවෙනවා. අදාළ සමාගමෙන් නම් ඒක කරන්නෙ, ඒක ඒ ආයතනයට ලාභයි. රෝගය ඔඩුදුවන්න කලින් විසඳා ගැනීමේ ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. වියදම අඩුයි. මොකද අපි ළඟටම ගිහින් තමා ඒක කරන්නෙ. එයාලට ගමන් වියදම් හෝ කාලය මිඩංගු කරන්න අවශ්‍ය වෙන්නෙ නෑ. මෙච්චර කාලෙකට ලංකාවේ දන්ත සෞඛ්‍ය සේවයට බ්‍රෑන්ඩ් එකක් තිබුණේ නෑ. හිටියා නම් හිටියේ ජනප්‍රිය වෛද්‍යවරුන් පමණයි. ඒත් “දන්තජ‘ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. මේක ප්‍රිමියම් ඩෙන්ට්‍රිස්ට් බ්‍රෑන්ඩ් එකක්.”
මෙම අවස්ථාවට එක් වූ සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා උත්සව සභාව ආමන්ත්‍රණය කරමින් මෙසේ කියා සිටියේය.
“මේ අවස්ථාවට එකතුවෙන්න ලැබීම ගැන මං ගොඩක් සතුටුවෙනවා. මං මෙතුමට යෝජනා කරන්නේ මේ වගේ සියලු පහසුකම්වලින් සපිරි, විශිෂ්ට සේවයක් සහිත සායනික බස් රථ එකක් නෙවෙයි, කීපයක්ම සේවයට යොදවන්න කියලයි. ඒ්කට තනියම ආයෝජනය කරන්න බැරි නම් ඒ්කටත් මැදිහත් වෙන්න අපට පුළුවන්. ඉදිරියේදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහයත් ඇතිව ‘දන්තජ” ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා සංචාරක ප්‍රවර්ධනයට විශේෂයෙන්ම, ‘දන්ත සංචරණය’(dental tourism) විධිමත් සැලසුමක් ඇතිව කරන්න අපි දැනටමත් තීරණය කර තිබෙනවා. ඒ් අනුව මමත්, සංචාරක අමාත්‍යංශය, සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සමග අප පොදුවේත් සියයට සියයක සහයෝගයක් මෙම කටයුත්ත වෙනුවෙන් ලබාදෙන බව මං ප්‍රකාශ කරනවා”
මෙම අවස්ථාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන්, නිලධාරීන් මෙන්ම විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්, සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.


Video Story