දාස සමූහ ව්‍යාපාරයෙන් ‘දාස‘ මාස්ක් වෙළෙඳපොළට. උපරිම සිල්ලර මිල රු. 20යි

    October, 8, 2020

    ශ්‍රී ලංකාවේ ඇඟලුම් වෙළෙඳ කර්මාන්තයේ නිරත ඉපැරණි ආයතනයක් වන දාස සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කරන ලද මුහුණු ආවරණ,  අද (08) දින වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ  ප්‍රධානත්වයෙන් යුතුව වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. මෙම මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රු. 20 ක් වේ.

    මෙම අවස්ථාවේ දී අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධණ මහතා මෙසේ කියා සිටියේය.

    “අද දිනය ලාංකේය වෙළෙඳ ක්ෂේත්‍රයේ වැදගත් දිනයක්. අපේ රටේ ඉපැරණි ව්‍යාපාරයක් වූ දාස සමූහ ව්‍යාපාරය මේ රටේ රෙදිපිළි ඇඟළුම් ක්ෂේත්‍රයේ පුරෝගාමී යුග මෙහෙවරක නිරත වෙච්ච කර්මාන්ත ආයතනයක්. එය ලාංකීය දේශපාලන ඉතිහාසයේ සෘජු පළිගැනීමකට ලක්වෙච්ච ආයතනයක්. 1977 නොවැම්බර් මාසේ 15 වෙනිදා එම රජයේ පළවැනි අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමේ දී එවකට මුදල් අමාත්‍ය ගරු රොනී ද මැල් මහතා විසින් නම සඳහන් කරලා පහර දීපූ ව්‍යාපාරයක් තමයි දාස සමූහ ව්‍යාපාරය. එදා සිට එම ව්‍යාපාරය එළව එළවා පහර දීමේ ප්‍රතිඵලයක් ලෙස දේශීය කර්මාන්ත ව්‍යාපාර වැටිලා විජාතික කර්මාන්ත ව්‍යාපාර නැගිට්ටා. ඒ දාස ව්‍යාපාරය විසින් වැටි වැටී නැගිටින ගමනේ අද්‍යතන උරුමකරුවන් වන වර්තමාන අධිපතිතුමා, එම මැතිණිය බොහොම අනර්ඝ තත්ත්වයේ මුහුණු ආවරණයක් නිෂ්පාදනය කරලා තියෙනවා“.

    “ඒ අනුව අද දිනයේ පටන් අනර්ඝත්වයෙන් යුත්, ගණත්වයෙන් ඉහළ විශ්වාසනීය, සෞඛ්‍යාරක්ෂිත මුහුණු ආවරණය සිල්ලරට පරිභෝගිකයාට රු. 20 ක් වැනි  සාධාරණ මිලකට අලෙවි කිරීම ආරම්භ කරනවා. සියළුම රාජ්‍ය ආයතනවලට අපි රු. 17.50 කට තොග මිලකට මෙය ලබාදෙනවා.“