February, 13, 2025
අඛණ්ඩව ගනුදෙනු දින දෙකක් පුරාවට පහළ වැටුණු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (13) දිනයේ වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 233.92 කින් ඉහළ ගොස් ඒකක 16,578.22 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 52.14කින් ඉහළ ගොස් ඒකක 4,944.60 ක් ලෙසිත් දිනයේ ගනුදෙනු අවසානයේ දී සටහන්ව තිබුණි.
2025 පෙබරවාරි මාසයේ මුල් ගනුදෙනු දින 06 තුළ දී සමස්තයක් ලෙස ඒකක 777.4කින් සියලු කොටස් මිල දර්ශකය කඩා වැටීමකට ලක්විය. එහිදී විශාලතම කඩා වැටීම පෙබරවාරි 05 දින වාර්තා වූ අතර එදින ඒකක 500.4ක පහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයෙන් දැකගන්නට ලැබුණි. එසේම පෙබරවාරි 10 දින ඒකක 160.4 කින් සහ පෙබරවාරි 11 දින ඒකක 221කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය.
එම පසුබිම තුළ අද දින කොටස් වෙළෙඳපොළේ වර්ධනය ආයෝජකයින් හට යම් සැනසිලිදායක තත්ත්වයකි. මේ සම්බන්ධයෙන් වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ පසුගිය වකවානුව තුළ වෙළෙඳපොළ සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගැනීමට සමත් වූ හෙයින් යම් ආකාරයක වෙළෙඳපොළ නිවැරදි කිරීම් (Market correction) තත්ත්වයක් අනිවාර්යයයෙන්ම බලාපොරොත්තු විය යුතු බවයි. එසේම එළඹෙන සතිය තුළ ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව රජයේ අයවැය සම්බන්ධයෙන් ද ආයෝජකයින්ගේ විමසිලිමත්භාවය යොමුව ඇති බැවින් මේ වන විට කොටස් වෙළඳපොළ ආයෝජන සම්බන්ධයෙන් ආයෝජක තීරණය ප්‍රමාද වන බවක් දක්නට ලැබෙන බව ද එම වාර්තා සඳහන් කරයි.
අද දින රු. බිලියන 3.58 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
Video Story