දින දෙකක දී රු. බිලියන 177ක් කොටස් වෙළෙඳපොළට අහිමි වෙයි

    February, 26, 2025

    මෙම සතියේ සඳුදා (24) සහ අඟහරුවාදා (25) දිනවල දී කොළඹ කොටස් වෙළෙඳපොළ දැඩි පසුබෑමකට ලක්විය. මේ හේතුවෙන් එම දින දෙක තුළ දී පමණක් රු. බිලියන 177 ක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් ගිලිහී ගොස් තිබීම විශේෂත්වයකි.

    පසුගිය පෙබරවාරි 21 සිකුරාදා ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ, වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 5,945.62 ක් ලෙසින් වාර්තා වුණි. කෙසේවෙතත් ගනුදෙනු දින දෙකකට පසු ඊයේ (25) දිනයේ දී මෙම අගය දැක්වුණේ රු. බිලියන 5,768.20 ක් ලෙසයි. ඒ අනුව දින දෙකක් තුළ දී රු. බිලියන 177.42කින් කොටස් වෙළෙඳපොළ සමස්ත වටිනාකම පහළ ගොස් තිබේ.

    ඊයේ (25) දිනයේ දී ඒකක 326.72කින් සහ සඳුදා (24) ඒකක 217.58 කින් කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පහළ ගියේය. ඒ අනුව මේ වන විට ඒකක 16,345.01 ක් දක්වා සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබේ.

    මෙරට කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා වූ ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය පෙබරවාරි 18 දින වාර්තා වූ අතර එය ඒකක 17,193.79 ක් වේ. කෙසේවුවත් එතැන් සිට මේ දක්වා සතියක පමණ කාලයක් ඇතුළත ඒකක 848.78 කින් සියලු කොටස් මිල දර්ශකය කඩාවැටී තිබීම ආයෝජකයින්ගේ දැඩි විමසිල්ලට ලක්ව තිබේ.