දින 3ක් අඛණ්ඩව පහළ ගිය කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි

    December, 6, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි ඉහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා විය.

    මෙහිදී දින 3 ක් අඛණ්ඩව පහළ ගිය සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ දී ඒකක 46.09 ක වර්ධනයක් වාර්තා කරමින් නැවත වරක් ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලදී. ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,034.41 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 62.43 ක වර්ධනයක් වාර්තා කරමින් දිනය අවසානයේ දී ඒකක 3,947.00 ක් ලෙසින් වාර්තා විය.

    අද දිනය තුළ රු. බිලියන 6.73 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වුණු අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.67 ක් හා දේශීය විකුණුම් රු. බිලියන 6.69 ක් ලෙසින් සටහන් වූයේ යළි යළිත් කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වයට විදේශීය ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉතා පහළ මට්ටමක පවතින බව පෙන්නුම් කරමිනි. ඒ අනුව දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 60.42 ක් හා විදේශීය විකුණුම් රු. මිලියන 37.11 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    අද දින කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ කොටස් මිල රු. 32.50 ක් දක්වා රු. 7.70 කින් හෙවත් 19.15% කින් පහළ යාම සියලු කොටස් මිල දර්ශකයට දැඩි සෘණාත්මක බලපෑමක් එල්ල කරන ලදී. දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය ද කොමර්ෂල් ලීසිං සමාගමේ කොටස් ගනුදෙනු හරහා ලැබී තිබුණු අතර එය රු. බිලියන 2.60 කි.