• Ada Derana BIZ Sinhala
  • fisheries districts
  • marginal fishers
  • sri lanka
  • United Kingdom

දිස්ත‍්‍රික්ක 9ක වෙසෙන දිළිඳු ධීවරයින්ගේ ආහාර සුරක්ෂිතතාව සවිගැන්වීම පිණිස FAO හරහා පවුම් 880,000ක් ලබා දීමට එක්සත් රාජධානිය කටයුතු කරයි

November, 25, 2022

තංගල්ල, මීගමුව, කොළඹ, කළුතර, ගාල්ල, මාතර, පුත්තලම, මඩකලපුව සහ මන්නාරම වෙසෙන දිළිඳු ධීවරයින්ගේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සවිගැන්වීම උදෙසා එක්සත් රාජධානිය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) හරහා පවුම් 880,000ක් (අමෙරිකානු ඩොලර් 1,043,395) ලබා දීමට කටයුතු කර ඇත.

මෙම සතියේ සමරනු ලබන ලෝක ධීවර දිනය (නොවැම්බර් 21) නිමිත්තෙන්, ශ‍්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් OBE විසින් සිය සහය දක්වමින් ප‍්‍රකාශයට පත් කළේ, ”ශ‍්‍රී ලංකාවේ ධීවර අංශය ඉතාමත් අසීරු කාලවකවානුවකට මුහුණ දෙමින් සිටින බව අප විසින් හඳුනා ගැනිණ. මෙම කර්මාන්තයේ නිරත අය මුහුණ පා ඇති අභියෝග වලින් සමහරක් සම්බන්ධයෙන් නිසි කටයුතු යෙදීම සඳහා සහය පිණිස එක්සත් රාජධානිය පවුම් 880,000ක් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඒ හරහා ඉලක්ක කරනුයේ, පෝෂණීය ආහාර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙත එම පවුල් වලට වැඩි ප‍්‍රවේශයක් සැලසීමයි” යනුවෙනි.

බ්‍රිතාන්‍ය රජය විසින් දෙන ලද මෙම වටිනා දායකත්වය, කුඩා-පරිමාණයෙන් සහ මෝටර නොමැති සාම්ප‍්‍රදායික බෝට්ටු යොදාගෙන කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයන් 5,000ක ට වැඩි සංඛ්‍යාවක් වෙත සහය පිණිස යොදා ගැනීමට FAO අදහස් කරයි. සාම්ප‍්‍රදායික වශයෙන් ඉතාමත්ම දිළිඳු තත්ත්වයේ පවතින ධීවර ප‍්‍රජාවන් වන මොවුන්ට මෙම සහය බෙහෙවින් වැඩදායක වනු ඇත. සුදුසුකම් ලබන ධීවරයින් වෙත මාස 3ක කාලයක් දක්වා මසකට ඇ.ඩො. 47ක කොන්දේසි විරහිත මුදල් පැවරුමක් ලැබෙනු ඇත. බලපෑමට ලක් වූ ධීවර නිවෙස් වලට වහා අවශ්‍ය කරන ආහාර හා ජීවනෝපාය අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම තමන්ට අත්‍යවශ්‍ය දෑ සපයා ගැනීමටත් මේ හරහා හැකියාව ලැබෙනු ඇත.

ධීවර ප‍්‍රජාව වෙත ලබා දෙන මෙකී සහය පිළිබඳ සිය කෘතඥතාව පළ කරමින්, ගරු ධීවර අමාත්‍ය, ඩග්ලස් දේවානන්ද මැතිතුමා, ”සාම්ප‍්‍රදායිකව ගත් කල, මසුන් යනු අපේ ආහාර වේලට ප්‍රෝටීන් ලබා දෙන ප‍්‍රධාන මාර්ගයකි. එය අප රටට විදේශ විනිමය උපයා ගත හැකි වැදගත් මාර්ගයක් ද වේ. මෙවැනි කාලවකවානුවක ධීවර ප‍්‍රජාව වෙත උපරිම සහය සැලසීමට අප කටයුතු කළ යුත්තේ අපේ ආහාර සුරක්ෂිතතාව සහ මූල්‍ය ස්ථාවරත්වය වෙත ඔවුන්ගේ කර්මාන්තය තුළින් ලබාදෙන වටිනා දායකත්වය අඛණ්ඩව සැලසීමේ හැකියාව ඔවුන් වෙත උදා කිරීම පිණිසයි. මෙම ප‍්‍රජාවට සිය නොමසුරු සහය ලබාදීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජයටත්, FAO සංවිධානයටත් මාගේ ස්තුතිය පුද කරමි” යැයි පැවසීය.

මෙම වැඩපිළිවෙළ දියත් කරන අවස්ථාවේ දී ශ‍්‍රී ලංකා සහ මාලදිවයින FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැවසුවේ,”කුඩා පරිමාණ ධීවරයින් මෙම වසරේ දී බහුවිධ අභියෝගයන්ට මුහුණ දී තිබෙනවා. සතියකට පවතින ධීවර දින ගණන අඩු වීම, ධීවර අස්වන්න අඩු වීම, සහ ග‍්‍රාමීය ජනතාව සතු මිලදී ගැනීමේ හැකියාව හීන වීම නිසා ඉල්ලූම අඩු වීම ආදී සියලූ කාරණා මෙම කණ්ඩායමට සැලකිය යුතු අන්දමින් බලපෑම් ඇති කර තිබෙනවා. මෙම අර්බුදකාරී සමයේ දී, අවදානමට ලක් විය හැකි ධීවරයන්ගේ ජීවනෝපායයන් ආරක්ෂා කරන්නට ත්‍්ධ හි අප ඇප-කැප වී සිටිනවා. එසේම, ධීවර ප‍්‍රජාව වෙනුවෙන් සිය සහය දැක්වීම සම්බන්ධයෙන් එක්සත් රාජධානිය වෙත අපේ ස්තුතිය පිරිනමන්නට ද මෙය අවස්ථාවක් කරගන්නවා” යනුවෙනි.

ශ‍්‍රී ලංකාවේ FAO, සිය හවුල්කරුවන්ගේ සහභාගිත්වය ද ඇතිව, කෘෂිකර්මය දිරිගන්වන අතරවාරයේ ග‍්‍රාමීය ප‍්‍රදේශ ද ඇතුළුව වඩාත්ම බලපෑමට ලක් ව ඇති දිස්ත‍්‍රික්ක වල වෙසෙන ගොවි ජනතාවගේ සහ ධීවර ප‍්‍රජාවන් හි ආහාර සුරක්ෂිතතාව පිළිබඳ හදිසි අවශ්‍යතා සපුරාලීම, සහ ජීවනෝපායයන් ආරක්ෂා කිරීම සඳහා නිසි කටයුතු යෙදීමට පියවර ගෙන ඇත.