දෙගුණයට වැඩි වර්ධනයක් වාර්තා කරමින් AMF සමාගම 2024/25 මූල්‍ය වර්ෂය සඳහා රු. බිලියන 1.78 ක බදු පෙර ලාභයක් උපයයි

    June, 24, 2025

    ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී (AMF) සමාගම, 2025 මාර්තු 31 වැනි දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා බදු පෙර ලාභය (PBT) වශයෙන් රුපියල් බිලියන 1.78 ක ලාභයක් සමඟින් මේ දක්වා සමාගම විසින් වාර්තා කර ඇති සාර්ථකම මූල්‍ය කාර්යසාධනය වාර්තා කර ඇත. මෙය පසුගිය වසරට සාපේක්ෂව 122% ක දැවැන්ත වර්ධනයකි. AMF සමාගමේ බදු පසු ලාභය 136% කින් වර්ධනය වෙමින්, රුපියල් මිලියන 750 ක් දක්වා වර්ධනය වී ඇති අතර මෙම සාර්ථක ප‍්‍රථිඵල, අනාගතය ඉලක්ක කරගත් මූල්‍ය ආයතනයක් වශයෙන් AMF සමාගමේ අඛණ්ඩ වර්ධනය ඉදිරියටත් තහවුරු කරයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී, ටී.එම්.ඒ. සලේ මහතා මෙසේ පැවසීය ”ගෙවුණු වසර අපගේ නොසැලෙන අධීෂ්ඨානය සහ අභියෝගයන්ට මුහුණ දීමට ඇති හැකියාව පරීක්ෂාවට භාජනය කළ වසරක්. පසුගිය වසර තුළ අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා මෙවැනි දැවැන්ත සාර්ථකත්වයක් අත්පත් කරගැනීමට අපට හැකි වුයේ සැළසුම් නිර්මාණයට මෙන්ම එම සැළසුම් සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමටත් අපට ඇති හැකියාව නිසයි. AMF සමාගමේ සේවකයින් සහ හවුල්කරුවන් ඇතුළු සියළුම පාර්ශවකරුවන්, එකම කණ්ඩායමක් වශයෙන් විදහා දැක්වූ විනය සහ එකමුතුකම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි."

    2024/25 මූල්‍ය වර්ෂය සඳහා AMFසමාගම විසින් වාර්තා කළ විශිෂ්ට මූල්‍ය ප‍්‍රථීඵල අතර කිහිපයක් මෙලෙස දැක්විය හැකිය. ශුද්ධ පොලී ආදායම රුපියල් බිලියන 3.28 ක් දක්වා 53% කින් වර්ධනය වීමල 12% කින් පොලී ආදායම ඉහළ යාම සහ 19% කින් පොලී වියදම් අඩු වී තිබීම ඊට මූලික වශයෙන් හේතුසාධක වී ඇත.

    සමාගමේ ණය කළඹ 23% ක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 13.61 දක්වා වර්ධනය වී තිබූ අතර සමස්ත වත්කම්වල වටිනාකම 10% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 21.17 ක් දක්වා වර්ධනය වී ඇත. ජනතාව විසින් සමාගම කෙරෙහි තබා ඇති සවිමත් විශ්වාසය තවදුරටත් වර්ධනය වන බව පෙන්නුම් කරමින්, මහජන තැන්පතු 7% කින්, එනම් රුපියල් බිලියන 15.55 ක් දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම කොටස් හිමිකරුවන්ගේ අරමුදල 22% කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 3.97 ක් දක්වා වර්ධනය වී ඇත.

    AMF සමාගමේ මෙහෙයුම් ලාභදායීතාවය සහ කාර්යක්ෂමතාවය විශාල වශයෙන් වර්ධනය වී ඇති අතර සාමාන්‍ය වත්කම් ප‍්‍රතිලාභය (ROA) 8.78% ක් ලෙසින්ද හිමිකම් මත ප‍්‍රතිලාභය (ROE) 20.81% ක් දක්වා ද දැවැන්ත වර්ධනයක් වාර්තා කර තිබීම ඊට මනා උදාහරණ වේ. ශුද්ධ පොලී අනුපාතය (NIM) 16.21% ක් වශයෙන් ශක්තිමත් තත්ත්වයක් වාර්තා කර ඇත. 36.7% ක ස්විශේෂී කාර්යක්ෂමතා අනුපාතයක් හා 40.8% ක හානිකරණ ගලපන ලද කාර්යක්ෂමතා අනුපාතයක් ලගාකරගැනීම ආයතනය විසින් ලගාකරගත් සුවිශේෂී ජයග්‍රහනයකිග මෙම අගයන් කර්මාන්තයෙහි සාමාන්‍ය අගයන්ට වඩා වැඩිවීම AMF හි ස්විශේෂී මෙහෙයුම් කාර්යය සාධනය තහවුරු කරයි.

    AMF සමාගම සාර්ථක ප‍්‍රාග්ධන ස්ථාවරයක් පවත්වා ගැනීමට සමත් වී ඇති අතර සමාගමේ පළමු මට්ටමේ ප‍්‍රාග්ධන අනුපාතය (Tier I Capital Ratio) 18.96% ක් වශයෙන් ද සමස්ත ප‍්‍රාග්ධන අනුපාතය (දෙවැනි මට්ටම)  (Total Capital Ratio-Tier II) 19.24% ක් වශයෙන්ද වාර්තා කර ඇත. එම අනුපාතයන් නියාමනය කර ඇති අවම සීමාවන් වන 8.5% ක සහ 12.5% ක මට්ටමට වඩා ඉතා ඉහළින් පැවතීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

    සමාගමේ ද්‍රවශීලතාවය මූල්‍ය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරමින් සවිමත් අගයන් වාර්තා කර ඇති අතර ද්‍රවශීල වත්කම් සහ කෙටිකාලීන වගවීම් 87.67% ක් වශයෙන්ද, ද්‍රවශීල වත්කම් සහ බාහිර අරමුදල් 37.71% ක් වශයෙන්ද, ද්‍රවශීල වත්කම් සහ සමස්ත වත්කම් 27.10% ක් වශයෙන්ද වාර්තා වී තිබේ.

    කොටස් හිමිකරුවන් වෙනුවෙන් අඛණ්ඩවම වටිනාකම් නිර්මාණය කිරීමට AMF සමාගම සමත් වී ඇත. ඒ අනුව කොටසකට හිමි ඉපැයුම දෙගුණයක වර්ධනයක් වාර්තා කරමින් රුපියල් 6.62 ක් දක්වා වර්ධනය වී ඇති අතර කොටසක ශුද්ධ වත්කම් වටිනාකම (NAV) රුපියල් 35.01 ක් දක්වා වර්ධනය වී ඇත. මෙලෙස අවදානම් සහ මූල්‍ය පැතිකඩ යහපත් අතට අඛණ්ඩවම වර්ධනය වීම නිසා ලංකා රේටින්ග් සමාගම විසින් AMF සමාගමේ ණය ශ්‍රේණිගත කිරීම BB (Stable) ඉහළ නංවා තිබීමද මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

    සමාගමේ ඉහළ මූල්‍ය ප‍්‍රථිඵල පිළිබඳව අදහස් දක්වමින් AMF සභාපති, සුරේන් ගුණවර්ධන මහතා මෙසේ පැවසීය, ”මේ වසරේ අපි අත්පත් කරගත් මූල්‍ය සාර්ථකත්වය, අපගේ මූල්‍ය ශක්තිය පමණක් නොව සමාගමේ උපායමාර්ගික දැක්ම අත්පත් කරගැනීම සඳහා නොසැලෙන අධීෂ්ඨානයෙන් සහ කැපවීමෙන් යුතුව අපි සියළු දෙනා දැරූ උත්සාහයත් පෙන්නුම් කරනවා. ශ‍්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් සාර්ථකව පසු කරමින් සිටින අවස්ථාවක, දේශයේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ආර්ථිකයට සැළකිය යුතු දායකත්වයක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටට සහ ආඩම්බරයට පත් වෙනවා”.

    පසුගිය මූල්‍ය වර්ෂය තුළ අත්පත් කරගත් සාර්ථක ප‍්‍රථිඵල අඛණ්ඩවම ඉදිරියට ගෙන යාම සඳහා රුපියල් බිලියන 1.25 ක බැඳුම්කර නිකුතුවක් (Listed Rated Unsecured Subordinated Redeemable High-Yield Bonds) සඳහා AMF සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. අදාළ නියාමන ආයතනවල නිසි අවසර හිමි වීමෙන් පසුව මෙම බැඳුම්කර කොළඹ කොටස් වෙළඳපොලෙහි ලැයිස්තුගත කිරීමට නියමිතය.

    AMF සමාගමේ සභාපති සුරේන් ගුණවර්ධන සහ අධ්‍යක්ෂක/ප‍්‍රධාන විධායක නිලධාරී මර්වින් සලේ යන මහත්වරුන්ට අමතරව උප සභාපති - නාලත දයාවංශ, ශමල්කා දයාවංශ, ෂනිල් දයාවංශ, නිලංක පීරිස්, රනිල් විජේගුණවර්ධන සහ ටෞචිර කණ්ඩම්බි යන මහත්වරුන් AMFධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරති.