දේශීය කුකුළු කර්මාන්තය වෙනුවෙන් පර්යේෂණ ව්‍යාපෘතියක්. වසර 5කට බ්‍රිතාන්‍ය පවුම් හත්ලක්ෂයක ප්‍රදානයක්

    September, 29, 2020

    එක්සත් රාජධානියේ Royal Veterinary College සමඟ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එක්ව (සම සහභාගිත්වයෙන්) එක්සත් රාජධානියේ ගෝලීය අභියෝග සඳහා පර්යේෂණ අරමුදලෙහි මූල්‍ය දායකත්වය සහිතව One Health Poultry Hub යනුවෙන් පර්යේෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

    කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනයේ වර්ධනයක් ඇති කිරීමත්, දේශීය කුකුළු කර්මාන්තය අපනයන ක්ෂේත්‍රයට යොමු කිරීමේදී පැන නැගෙන ගැටලු හඳුනාගෙන තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධනය මඟින් නිෂ්පාදන කටයුතු නිවැරදි මගකට යොමු කිරීමත්, මෙම පර්යේෂණ ව්‍යාපෘතියෙන් අපේක්ෂා කෙරේ.

    එක්සත් රාජධානියේ ගෝලීය අභියෝග සඳහා පර්යේෂණ අරමුදල විසින් මෙම ව්‍යාපෘතියට වසර 05ක කාලයක් සඳහා බ්‍රිතාන්‍ය පවුම් 700,000ක ප්‍රදානයක් ලබා දීමට එකඟතාව පළ කර ඇත. ඒ අනුව, අදාළ පාර්ශ්වයන් අතර එකී පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.