පස්වන දිනයටත් කොටස් වෙළෙඳපොළ පසුබසී. විදෙස් ආයෝජකයින්ගේ අනුහසින් දැවැන්ත පිරිවැටුමක්

    July, 31, 2024

    • ජෝන් කීල්ස් තීරණයට ආයෝජකයින්ගෙන් සෘණාත්මක ප්‍රතිචාරයක්

    අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (31) දිනයේ දී වාර්තා විය.

    අද දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 1004.20 කින් පහළ ගිය අතර දිනය අවසානයෙ දී ඒකක 11,406.56 ක් ලෙසින් එහි අගය වාර්තා විය. S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 68.27 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය වාර්තා වූයේ ඒකක 3,265.55 ක් ලෙසිනි.

    සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට ප්‍රධාන වශයෙන් හේතුවූයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිල පහළ යාමයි. එම සමාගමේ කොටස් මිල අද දිනය තුළ 9.25% කින් පහළ ගොස් තිබුණි.

    ඊයේ දිනයේ දී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් හිමිකම් කොටස් නිකුතුවක් ප්‍රකාශයට පත් කර තිබුණු අතර ඊට ආයෝජකයින්ගෙන් හිමි වූ සෘණාත්මක ප්‍රතිචාරය හමුවේ මෙලෙස ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් මිල පහළ ගිය බව කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ අතර අද දින රු. බිලියන 3.96 ක දැවැන්ත ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම විශේෂත්වයකි. OVERSEAS REALTY (CEYLON) PLC හි සිදුවූ දැවැන්ත ගිවිසාගනු ලැබූ ගනුදෙනුවක් මේ සඳහා හේතුවිය. එහිදී රු. බිලියන 2.93 ක ගිවිසා ගනු ලැබූ ගනුදෙනුවක් වාර්තා වී තිබුණු අතර විදේශීය පාර්ශව දෙකක් අතර එම ගනුදෙනුව සිදුව තිබුණි.

    අද දින දේශීය මිල දී ගැනීම් රු. මිලියන 937 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 871 ක් ලෙසින් සටහන් වූ අතර විදෙශීය මිල දී ගැනීම් රු. බිලියන 3.02 ක් හා විදේශීය විකිණුම් රු. බිලියන 3.09 ක් ලෙසින් සටහන් විය.