ප්‍රමාද වී හෝ රට විවෘත කිරීම හොඳ දෙයක් – හිරාන් කුරේ

    January, 6, 2021

    ප්‍රමාද වී හෝ සංචාරකයින් වෙනුවෙන් රට විවෘත කිරීම හොඳ දෙයක් බවත්, අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව ඉතා හොඳින් කොවිඩ්-19 තත්ත්වය පාලනය කර ඇති බවත් සංචාරක උපදේශක කමිටුවේ සභාපති සහ මෙරට ප්‍රමුඛ පෙළේ හෝටල් ජාලයක් වන ජෙට්වින් සිම්ෆනි පීඑල්සී හි සභාපති හිරාන් කුරේ මහතා පවසයි. අද දෙරණ BIG FOCUS සජීවී සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් (05) ඒ මහතා මේ බව කියා සිටියේය.

    මෙහිදී අදහස් දැක්වූ හිරාන් කුරේ මහතා,

    “මම හිතන විදියට සංචාරකයින්ට රට විවෘත කරන්න තිබුණේ මීට කලින්. එක්සත් ජාතීන් විසින් ලෝකයේ රටවල් 217 ක් නිරීක්ෂණය කරනවා. ඒ රටවල් 217 න් 152 ක් පසුගිය ඔක්තෝබර් මාසය අවසන් වන විට විවෘත කරලා තියෙන්නේ. අපේ රටත් තවමත් වහලා තියෙන්නේ. නමුත් මේ විවෘත කරලා තිබෙන රටවල්, අපි තරම් කොවිඩ් 19 පාලනය කරලා නැහැ. මගේ මතය අනුව කොවිඩ් 19 පාලනය කිරීම සම්බන්ධයෙන් අපි මුල් පෙළේ ඉන්නේ. දැනට මරණ වාර්තා වන්නේ 210 ක් පමණ. අනෙක් හැමදෙනාම සුව වෙලා නිවෙස්වලට ගිහිං.“

    “අපේ ආයුර්වේද තියෙනවා, හෙළ වෙදකම තියෙනවා, ඒවායින් ප්‍රතිකාර කරන්නත් පුළුවන් මේ එන පුද්ගලයින්ට. අපිට විශ්‍රාමික සංචාරකයින් මෙහාට ගෙනත් මාස 06ක්, අවුරුද්දක් වුණත් තියා ගන්න පුළුවන්. අපිට විදේශ විනිමයත් අවශ්‍යයි. ලක්ෂ 20 ක් විතර මේ කර්මාන්තයෙන් යැපෙනවා. ප්‍රමාද වී හෝ සංචාරකයින්ට රට විවෘත කිරීම තමයි හොඳම දේ. මම ජූනි මාසේ ඉඳලාම කියන්නේ අපේ රට වහන්නේ නැතුව විවෘත කරන්න ඕනේ කියලා.“