බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නව වසරට නව වෙබ් අඩවියක්

    January, 1, 2021

    බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය නව නිල වෙබ් අඩවිය වන www.bangkok.embassy.gov.lk පසුගිය දා (30) දියත් කළේය. මෙම නවීකරණය කරන ලද වෙබ් අඩවිය ශ්‍රී ලංකාව සහ තානාපති කාර්යාලයේ සේවාවන් පිළිබඳ පුළුල් පරාසයක තොරතුරු ලබා ගැනීම සඳහා පරිශීලක හිතකර ප්‍රවේශයක් ලබා දෙනු ඇතැයි බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. අදාළ තොරතුරු අන්තර්ජාලය හරහා ලබා ගැනීමේ දී උපරිම නම්‍යශීලී බවක් සහ කාර්යක්ෂමතාවයක් අත්විඳීමට විදේශීය ශ්‍රී ලාංකිකයින්ට, අනාගත සංචාරකයින්ට සහ ආයෝජකයින්ට එමඟින් උපකාරී වනු ඇති බව ද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

    පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය පිළිබඳ සන්දර්භය තුළ, සංචාරක කටයුතු හා අපනයන අංශ කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වන රජයේ ප්‍රවේශයට සහය දැක්වීම පිණිස, දූත මණ්ඩලයේ නව නිල වෙබ් අඩවියෙහි තායි භාෂාවෙන් ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක තොරතුරු සපයන සියල්ල ඇතුළත් කුඩා අන්තර්ජාල වේදිකාවක් අඩංගු වේ. තායි-ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වැනි සංවත්සරය සමරමින් බැංකොක් නුවර දී දියත් කරන ලද ‘බෞද්ධ මං පෙත සංචාරක ක්ශුද්‍ර වෙබ් අඩවියේ’ තායි අනුවාදය සමඟ ද එය සම්බන්ධ වේ. ආයෝජන සම්බන්ධයෙන්, අනාගත ආයෝජකයින් සහ ව්‍යාපාර සඳහා මාර්ගෝපදේශ, නිෂ්පාදන විස්තර, ප්‍රයෝජනවත් සම්බන්ධතා ආදිය අඩංගු කොටස් ද ඇතුළුව, ශ්‍රී ලංකාවේ පවතින ව්‍යාපාරික අවස්ථා පිළිබඳ තොරතුරු ‘ශ්‍රී ලංකාවේ නිෂ්පාදන’ සහ ‘ශ්‍රී ලංකාවේ ආයෝජනය’ යටතේ ද ලබා ගත හැකිය.

    තානාපති කාර්යාලය සඳහා කැපවී කටයුතු කිරීම සහ සහයෝගය ලබා දීම වෙනුවෙන් විදේශ අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අංශයේ පරිපාලනයට සහ ‘පීඑම්ජීඑස් ඩිජිටල් මාර්කටිං’ හි වෙබ් සංවර්ධකයින්ට දූත මණ්ඩලයේ ස්තූතිය පුද කෙරුණි.

    බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සිය අමුත්තන්ගේ අදහස්/දැක්ම අගය කරන අතර, එය ශ්‍රී ලංකාව පිළිබඳ සිත්ගන්නා සුළු හා ප්‍රයෝජනවත් අන්තර්ජාල ද්වාරයක් වනු ඇතැයි ද, බැංකොක් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සේවා ලබා ගැනීම සඳහා පහසුකම් සපයනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.