• Ada Derana BIZ Sinhala
  • crude oil
  • sri lanka

බොරතෙල් මිල පහළ යන්නේ ඇයි?

September, 26, 2022

2022.09.17 සිට 2022.09.23 දක්වා කාලය තුළ දී බොරතෙල් මිල ගණන් පහළ යෑමේ ප්‍රවණතාවක් බෝහෝ දුරට පෙන්නුම් කෙරේ. ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම, එක්සත් ජනපද ඩොලරය ශක්තිමත් වීම සහ ගෝලීය ආර්ථික වර්ධනය පිළිබඳ ඉදිරි දැක්ම අනුව වර්ධනය මන්දගාමී වීම හේතුරවෙන් කාලපරිච්ඡේදය ආරම්භයේ දී මිල ගණන් පහත වැටුණි.

කෙසේ වෙතත්, රුසියානු තෙල් සැපයුමෙහි අවිනිශ්චිතතා පිළිබඳ වෙළඳපොළ අවධානය යොමු කිරීම, චීනය වෙතින් වූ ඉල්ලුම ඉහළ යෑම සහ එංගලන්ත මහ බැංකුව විසින් බලාපොරොත්තු වූවාට වඩා අඩු වේගයකින් පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් කාලපරිච්ඡේදය අවසානය වන විට මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගියේය. සමස්තයක් ලෙස, සලකා බලන කාලපරිච්ඡේදය තුළ දී, බ්‍රෙන්ට් සහ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ගණන්, පිළිවෙලින් එක්සත් ජනපද ඩොලර් 1.68කින් සහ එක්සත් ජනපද ඩොලර් 2.22කින් පහළ ගියේය.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සැප්තැම්බර් 23වන දිනට දැක්වුනේ ඇමරිකානු ඩොලර් 90.69ක් ලෙසයි. එම මීල මෙම වසරේ ජූනි මාසයේ දී වාර්තා වූයේ එක්සත් ජනපද ඩොලර් 117.29 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන ලද සතිපතා ආර්ථික දර්ශක වාර්තාවෙහි මේ බව සඳහන් වේ.